මේ ආණ්ඩුව ලුණු ටිකවත් සාධාරණ මිලකට ලබාදෙන්න බැරි ආණ්ඩුවක් – අජිත් පී. පෙරේරා

ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන ලුණු ප්‍රමාණවත් ලෙස සැපයීමට සහ සාධාරණ මිලකට සැපයීමට රජය අසමත් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.

ශ්‍රී ලංකාව මුහුදින් වටවී ඇති රටක් බවත්, මෙරට කිසිදු දිනක ලුණු හිඟයක් ඇති වී නොමැති බවත්, ලුණු ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් ලෙස සලකා පෙර පැවති රජයයන් හා පෞද්ගලික අංශය විසින් කළමණාකරනය කළ බවයි අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව ලුණු ප්‍රමාණවත් ලෙස නිෂ්පාදන කළ බවත්, ප්‍රමාණවත් ලෙස වෙළඳපොළට පැමිණි අතර යම් තරගකාරී මිලක් සමඟ සාධාරණව ලුණු වෙළඳාම සිදුවූ බවත්, නමුත් වත්මන් රජය බලයට පත්වීමත් සමඟ ලුණු නිෂ්පාදනයේ බරපතල අඩුවීමක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

එසේම දැන් පිටරටින් ලුණු ගෙන ඒමේ තත්ත්වයකට පැමිණ ඇති බවත්, එය රජයේ කළමණාකාරීත්වයේ දුර්වලතාවක් බවත්, මේ සඳහා වෙළඳ අමාත්‍යවරයා සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

වත්මන් ආණ්ඩුවට ලුණු ටික හෝ සාධාරණ මිලකට ලබාදීමට නොහැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.