මාස 4ට රටවිරුවන්ගෙන් ඩොලර් බිලියන 2.46ක්

මෙම වසරේ පළමු මාස හතරක කාලයේදී විදෙස්ගත ශ්‍රී ලාංකේය ශ්‍රමික ප්‍රජාව මඟින් රුපියල් කෝටි 73,300ක (අමෙරිකානු ඩොලර් බිලියන 2.46) මුදලක් මෙරටට ප්‍රේෂණය කර තිබේ.

එය පසුගිය වසරේ පළමු මාස 4ට සාපේක්ෂව සියයට 18.3ක සැලකිය යුතු වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

පසුගිය වසරේ පළමු මාස හතරේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් විසින් අමෙරිකානු ඩොලර් බිලියන 2.07ක මුදලක් මෙරටට එවා තිබෙන අතර, මෙම වසරේ අප්‍රේල් මාසයේදී පමණක් රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 646.1ක මුදලක් එවා තිබේ.

එයද පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව, පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 543.8ක මුදලක් එවා ඇති බවද පෙන්වා දී තිබේ.

පසුගිය වසරේදී රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් ගණන 314,828ක් ලෙස වාර්තා වූ අතර, එය 2023 වසරට සාපේක්ෂව සියයට 5.8ක වර්ධනයක් ද විය. එසේම පසුගිය වසරේ රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් පිරිස ශ්‍රී ලංකා රුපියල දැඩිව කඩාවැටීමට ලක් වූ 2022 වසරේ රැකියා සඳහා විදේශගත වූ 310,953ක පිරිස ද ඉක්මවා ගොස් තිබේ.