පළාත් පාලන ආයතනවල බහුතරය ලබාගත් පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

පළාත් පාලන ආයතනවල බහුතරය හිමි කරගත් පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල සභාපතිවරුන් නම් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, 50%කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයකින් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන්ට අදාළ දැනුම්දීම සිදුකරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කරන්නේ.

මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයේදී පළාත් පාලන ආයතන රැසක බලය හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වූ අතර, සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයකට ද පළාත් පාලන ආයතන කිහිපයක බලය හිමිව තිබුණා.

මේ අතර කොට්ඨාශ මට්ටමින් තේරීපත් වූ පළාත් පාලන ආයතන සභිකයින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියේ.