ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිර්දේශයන්ට අනුකූලව, නිෂ්පාදන පිරිවැයට අනුකූලව මිල ගලපාගැනීමේ අවශ්‍යතාවය මත, ජුනි මාසයේදී විදුලි ගාස්තු වැඩි වීමක් සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලයට භාණ්ඩාගාරය විසින් සහනාධාර ලබා දීම තවදුරටත් සිදුකළ නොහැකි බවයි ඊයේ (2) පෞද්ගලික රූපවාහිනී නාළිකාවක දේශපාලන වැඩසටහනකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ.

කෙසේ වෙතත්, ධීවර ප්‍රජාව වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා රජය භාණ්ඩාගාරය හරහා සහන ලබාදීම දිගටම කරගෙන යන බවද ජනපති පවසා සිටියා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සැබෑ පිරිවැය මත පදනම්ව ඉන්ධන මිල සකස් කරනවා සේම, ලංවිම ද මූල්‍යමය වශයෙන් තිරසාර විය යුතු බවයි ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ.

මීලඟ විදුලි ගාස්තු සංශෝධනය ජුනි 01 වන දින සිට ක්‍රියාත්මක වන බවත්, එහිදී සුළු මිල වැඩිවීමක් සිදුවන අතර, එය 2024 දෙසැම්බර් පැවති මිලට වඩා අඩු මට්ටමක පවතිනු ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවා.

විදුලි මිල වැඩිවීම මැතිවරණ උපක්‍රමයක් නොවන බවත්, එය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මගින් මෙහෙයවනු ලබන කාල රාමුව අනුව ජුනි 01 සිදුවිය යුතු දෙයක් බවයි ඔහු පවසා සිටියේ.

ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වෛරීභාවය ආරක්ෂා කිරීම ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය දෙයක් බවද, බලශක්ති ස්වෛරීභාවය නොමැතිව, ජාතික ආරක්ෂාව දැනටමත් අවදානමට ලක්ව ඇති බවද, එම නිසා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම කිසිසේත් සිදු නොකරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කරනවා.