අද පැවැත්වෙන මැයි දින සැමරුම්

අද‍ට (01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා මේ වනවිට දේශපාලන පක්ෂ සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව “රට හදන ජනබලය පෙළගැසෙන මැයි රැළිය” යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන මැයි දින රැළිය ගාලු මුවදොර පිටියේදී පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතයි.

“රට දිනුමට කම්කරු බලය” යන තේමාව යටතේ සමගි සන්ධානයේ මැයි දින රැළිය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් තලවකැළේ ළිදුල නගර සභා පිටියේදී පස්වරු 2.00 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

“රැවටිල්ල ඉවසුවා ඇති, දැන් ඉතින් නැගිටිමු” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන මැයි දින රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

එසේම “කම්කරුවා ව්‍යවසායකත්වය කරා” යන තේමාවෙන් සර්ව ජන බලය මෙවර මැයි දිනය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවී‍රගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කරන මැයි දින රැළිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ විසින් පවත්වනු ලබන මැයි දින උත්සවය පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.