දේශපාලන වශයෙන් නැඟෙනහිර පළාත තුළ සිදුවූ මිනිස් ඝාතන ඇතුළු අපරාධ ගොන්නක තොරතුරු හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වන ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රඳවාගෙන කරනු ලබන විමර්ශන ඔස්සේ හෙළි වෙමින් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.
ඒ අතර මෙතෙක් සමාජයේ කතාබහට ලක් නොවූ අබිරහස් අපරාධ රැසක තොරතුරු හෙළිවෙමින් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.
සිය දේශපාලන අරමුණු වෙනුවෙන් මඩකලපුවේදී පොලිස් නිලධාරීන් රැසක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද තොරතුරු මේ වන විට හෙළි වෙමින් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පිල්ලෙයාන් සම්බන්ධයෙන් විමර්ශන සිදු වන්නේ එල්.ටී.ටී.ඊ.යෙන් කැඩී වෙන්වීමෙන් අනතුරුව ඔහු එල්.ටී.ටී.ඊ.යට එරෙහිව කළ සටන් සම්බන්ධයෙන් සහ එම යුදමය තත්ත්වය හමුවේ සිදුවූ වෙඩි තැබීම් සහ ඝාතන ගැන නොවන බව ද එම නිලධාරියා කීය. සිය දේශපාලන සහ පෞද්ගලික අරමුණු වෙනුවෙන් පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් මඩකලපුව ආශ්‍රිතව බොහෝ අපරාධ සිදුව ඇති බවත් එම අපරාධ එකින් එක මේ වන විට හෙළි වෙමින් ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය 08 වැනිදා පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලබන්නේ නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගැනීම සම්බන්ධයෙනි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධි විධානයන්ට අනුව අත්අඩංගුවට ගත් ඔහු මේ වන විට සිටින්නේ රැඳවුම් නියෝග මතය. පසුගිය 17 වැනිදා පිල්ලෙයාන්ගේ රියැදුරු අත්අඩංගුවට ගනු ලබන්නේ විමර්ශනවලින් හෙළිවූ තොරතුරු මතය. මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගැනීමෙන් අනතුරුව ඝාතනය කර ඇති බව මෙන්ම පිල්ලෙයාන්ගේ මෙහෙයවීමෙන් සිදුවූ මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක තොරතුරු හෙළි වන්නේ ඉන් අනතුරුවය. මේ වන විට පිල්ලෙයාන්ගේ රියැදුරු ද රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පවත්වන වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.