වගා හානි සතුන් සංගණනය වෙනුවෙන් මෙහෙයුම් මැදිරියක්

බෝග වගාවන්ට හානි කරන වන සතුන් පිළිබඳව මෙම 15වැනිදා පවත්වන සංගණනය වෙනුවෙන් බත්තරමුල්ල, කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ මෙහෙයුම් මැදිරියක් ඊයේ (11) සිට ස්ථාපිත කර ඇත.

මෙම වනසත්ව සංගණනය වඩාත් නිවැරදිව සහ කාර්යක්ෂමව සිදු කිරීමේ අරමුණෙන් මෙහෙයුම් මැදිරිය ස්තාපිත කර තිබේ. සත්ව සංගණනයේදී යම් ගැටලුවක් පැන නැගුණහොත් ඒ පිළිබඳව විමසීමක් සිදු කිරීමට මෙම 15දා දක්වා ඒම මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම සංගණණයේදී වන යම්කිසි ගැටළුවක් වෙතොත් මහජනතාවට මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක 011- 2034336 අමතා විමසීමක් කළ හැකිය.

මෙම 15වන දින පෙරවරු 8.00 සිට 8.05 දක්වා කාලය තුළ දීප ව්‍යාප්තව මෙම සංගණනය පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ද මේ වනවිට සිදුවෙමින් පවතී.වගාවට හානි සිදු කරන වනසතුන් ප්‍රමාණය සළකුණු කිරීම සඳහා ලබා දෙන පත්‍රිකාව තමන් වෙත ලැබී නොමැති නම්, ඒ පිළිබඳව කලබල නොවී, 15වැනිදා වෙන් කර ඇති අදාළ කාලය තුළ පැමිණෙන සතුන් පිළිබඳව යම් සටහනක් තබා ගන්නා ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය දැනුම් දෙයි.

වනසතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගනිමින් ඒ සඳහා විසඳුම් සෙවීමේ මූලික පියවරක් වශයෙන් පසුගියදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් පරිදි වන සත්ව හානි අවම කිරීමට අදාළ විශේෂ කමිටුවක් පත්කරන ලදී.

එම විශේෂ කමිටුවේ උපදෙස් පරිදි වගාවට වැඩි වශයෙන් හානි කරන වඳුරා, රිලවා, මොනරා සහ දඞුලේනා යන සත්වයන් කොපමණ ප්‍රමාණයක් සිටීදැයි ගණනය කිරීම සඳහා වන සත්ව සංගණනයක් සිදු කිරීමට යෝජනා විය.ප්‍රජා සහභාගීත්වයෙන් සිදු කරනු ලබන මෙම සංගණනයට අදාළ කාලය තුළ සහයෝගය පළ කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

බුද්ධිකා ඉඹුලාන