පාර්ලිමේන්තුවේ විපක්ෂය හදන්න සියලු පක්ෂවල අදහස් ගන්නවා

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ භූමිකාව ඉටු කිරීමේ දී සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගැනීම සඳහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත. ඒ අනුව මෙවර අය-වැය විවාදයේදී වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන් සහ පොදු මහජනතාවගේ අදහස් ලබා ගැනීමට විපක්ෂ නායකවරයා තීරණය කර තිබෙන අතර ඒ සඳහා Òඅය-වැය විවාදයේදී පුරවැසි ඔබේ අදහසට ඉඩක් දෙන්නට විපක්ෂයේ අපි සූදානම්Ó මැයෙන් යෙදවුමක් සමාජ මාධ්‍ය ජාලාවලට එක් කිරීමට තීරණය කර තිබේ. එහි නියමු ව්‍යාපෘතිය ද ආරම්භ කර තිබේ.

2025 අය-වැය ලේඛනය ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන විවාදය සහ කාරක සභා අවස්ථාවේදී සාධනීය තොරතුරු ලබාගැනීමේ අරමුණෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා (15) විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව තුළ නිවැරැදි තොරතුරු මත විවාදවලට දායකවීමේ වැදගත්කම මෙන්ම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ සහභාගීත්ව ක්‍රියාවලිය වැදගත් බව ද අවධාරණය කළේය.

විපක්ෂ නායකවරයා අය-වැය විවාදයට සීමා නොවී පාර්ලිමේන්තු සැසිවාරවලට වෘත්තීය සමිතිවල අදහස් ලබාදීම තුළින් ජනතාවාදී විපක්ෂයක කාර්යභාරය ඉටුකළ හැකි බව සඳහන් කළේය. ඒ සඳහා විපක්ෂ නායක කාර්යාලයේ Whatsapp (+94 75 9570 570) සහ විද්‍යුත් ලිපිනය connect@oloparliament.gov.lk ඔස්සේ මෙන්ම විපක්ෂ නායක කාර්යාලය,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඔස්සේ මහජනතාවට ලිඛිත අදහස් දැක්විය හැකිය.