පුනර්ජනනීය බලශක්තිය ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීමට සහාය දෙමින් මෙරට පළමු සූර්ය විදුලි බලාගාර ද්විත්වය නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබේ.
කොරියානු ආධාර මත ක්‍රියාත්මක කරන ලද මේ සූර්ය විදුලි බලාගාර ද්විත්වය චන්ද්‍රිකා වැව සහ කිරිඉබ්බන් වැව ජලාශයන්හි ස්ථාපිත කර තිබෙන අතර එය විවෘත කිරීම ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී මහත්මියගේ ප්‍රධානත්වයෙන් කළ බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය පවසයි. මේ පෙරළිකාර පුනර්ජනනීය බලශක්ති වැඩසටහන ශ්‍රී ලංකාව තිරසර බලශක්ති විසඳුම් වෙත සංක්‍රමණය වීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර එම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තර්ෂිණී ප්‍රශාන්ත් මහත්මිය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය ටී.එම්.ඩබ්ලිව්.ජේ.බණ්ඩාර මහතා ද එක්වූහ.
2022 වසරේ සිට කොරියානු රජය විසින් අරමුදල් සපයන ලද අමෙරිකානු ඩොලර් මිලියන 5ක ව්‍යාපෘතිය, කොරියානු තාක්ෂණ දියුණුව සඳහා වූ ආයතනය (KIAT) සමඟ සහයෝගයෙන් සංවර්ධනය කරන ලද අතර Yooshin Engineering සහ BosungPowertec විසින් ක්‍රියාත්මක කර තිබේ. මෙගාවොට් එකක විදුලියක් ජනනය කරන මේ සෑම පාවෙන සූර්ය බලාගාරයක්ම ජලාශ මතුපිට භාවිත කරන අතර පාරිසරික බලපෑම් අවම කරමින් භූමි සම්පත් සංරක්ෂණය කරන බවද ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය කියයි.
තානාපති ලී මහත්මිය සිය අදහස් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සඳහා කොරියාවේ සහාය දෙන බව පෙන්වා දී තිබෙන අතර දෙරට අතර දේශගුණික විපර්යාස සහයෝගිතා ගිවිසුම අවසන් කිරීමට ද සහාය පළ කළාය. මේ අතර ශ්‍රී ලංකාවේ සිවුවන විශාලතම ද්විපාර්ශ්වික නිල සංවර්ධන හවුල්කරුවා ලෙස කොරියාව නව්‍ය සහ තිරසර විසඳුම් හරහා රටේ බලශක්ති ගමනට සහාය වීමට කැප වී සිටින බවද තානාපතිවරිය සඳහන් කළාය.
ඊට අමතරව මේ ව්‍යාපෘතිය ඉදිරි වසර කිහිපයේ අපගේ ජාතීන් දෙක අතර පුළුල් සහ ගැඹුරු සහයෝගීතාවක් සඳහා පදනමක් ලෙස කටයුතු කරනු ඇති බව ද ඇය පෙන්වා දුන්නාය.