යූටියුබ් හිටපු ප්‍රධාන විධායකගේ පුත්‍රයා අබිරහස් ලෙස මිය යයි

ගූගල් සමාගම අනුබද්ධිත ලෝ ප්‍රකට ‘යූටියුබ්’ සමාජ මාධ්‍යජාලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිනිය වූ සුසාන් වොජ්සික්කිගේ පුත්‍රයා අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ මියගොස් සිටියදී සොයා ගෙන ඇතැයි ඔහුගේ පවුලේ සාමාජිකයන් තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 19 හැවිරිදි මාර්කෝ ට්‍රොපර් නමැති මේ සිසුවාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, පොලිසිය සඳහන් කර ඇත්තේ එය ඝාතනයක් බවට සාක්ෂි කිසිවක් නැති බවය.

සිය මුනුපුරා අධික මත්ද්‍රව්‍ය මාත්‍රාවකින් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි මාර්කෝගේ මිත්තණිය වන එස්තර් වොජ්සික්කි මාධ්‍යයට ප්‍රකාශ කර ඇති අතර, ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි බව වැඩිදුරටත් වාර්තා වේ. ඔහුගේ මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙනතුරු පවුලේ සාමාජිකයන් බලා සිටින බවත්, ඒ සඳහා දින 30ක කාලයක් ගත වනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.