රජයේ ඉඩමක පස් කපනවාට අම්බන උතුර ගම්වාසීහූ උද්ඝෝෂණයක

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම්බන උතුර රජයේ ඉඩමක පස් කපා ඉවත් කිරීමට එරෙහිව අම්බන උතුර ගම්වාසීහූ ඊයේ (12) එම ඉඩම ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වූහ. රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ මුවාවෙන් පුද්ගලයකු විසින් රජයට අයත් මෙම ඉඩමේ පස් කපා විකිණීමේ ජාවාරමක නිරත වන බවට චෝදනා කරමින් ගම්වාසීහූ මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

“රජයට අයත් පොදු දේපළ රැක ගනිමු “, “පස් කැපීම නවතනු”, ” පරිසරය සුරකිමු” ” පරිසර විනාශය බලධාරීන්ට නොපෙනේද” ? ” 28 වසරක් ගමේ ළමයින් ක්‍රීඩා කළ ක්‍රීඩා භූමියේ ජාවාරම් කාරයකුට දෙන්න එපා ” යනුවෙන් සඳහන් පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය කරමින් පැයක පමණ කාලයක් මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වූ අතර පසුව ඔවුහූ විසිර ගියහ. මේ පිළිබදව ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් චතුරංග ගුණසේකර මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා මෙසේ පැවසීය.

රජයට අයත් මෙම ඉඩම රසායන ද්‍රව්‍ය නිපදවන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට පුද්ගලයකුට 30 අවුරුදු දීර්ඝ කාලීන බදු කරයක් මත විධිමත් ආකාරයට ලබා දී තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යංශය සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවෙන් අවශ්‍ය අනුමැතිය ලබා දී තිබෙනවා. එම ආයතන විසින් ලබා දී ඇති බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරන බවට ගම්වාසීන්ගෙන් පැමිණිලි ලැබුණොත් කර්මාන්ත කරුට එරෙහිව පියවර ගන්නවා.