කෝවිලේදී ලක්ෂ ගානක මුදල් රන් අබරණ ඉස්සූ

හුනුපිටිය ප්‍රදේශයේ කෝවිලක පුජාවකට පැමිණි කාන්තාවකගේ රුපියල් ලක්ෂ හය හමාරක මුදලක් හා රුපියල් ලක්ෂ අට හමාරක් පමණ වටිනා රන් ආභරණ දමා තිබු අත් බෑගය සොරකම් කළ කාන්තාවක් කිරිබත්ගොඩ පොලිසිය මගින් පෙරේදා ( 11 වැනිදා ) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සමඟම ඇය විසින් සොරකම් කරන ලද අත් බෑගයේ තිබූ මුදලින් රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් හා රන් ආභරණ සියල්ලම ද පැය විසිහතරක් යාමට මත්තෙන් සොයා ගැනීමට පොලිසිය සමත්විය.

මේ අත් බෑගය නැතිවු කාන්තාව අලුතින් නිවෙසක් තනා පුජාවක් දීම සදහා පෙරේදා ( 11 වැනිදා ) පෙරවරුවේ හුනුපිටිය ප්‍රදේශයේ කෝවිලකට පැමිණ මුදල් හා රන් ආභරණ දමා තිබු එම අත් බෑගය එම කෝවිලේ ස්ථානයක තබා පුජාවට සහභාගි වී නැවත අත් බෑගය තබා තිබු ස්ථානයට පැමිණ බලන විට අත් බෑගය දකින්නට ලැබී නැති හෙයින් එම කාන්තාව ඒ බව කිරිබත්ගොඩ පොලිසියට දැනුම් දී තිබේ.

මේ අනුව වහාම ක්‍රියාත්මක වු ඵහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රෝභණ නන්දසිරි මහතා විසින් එම කෝවිල අවට සවිකර තිබු සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කොට සැකකාර කාන්තාව අවිස්සාවේල්ල ප්‍රදේශයේ විවාහ මංගල්‍යයකට සහභාගි වී සටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මේ අවස්ථාවේ සැකකාරිය ළඟ තිබී සොරකම් කරන ලද මුදලින් රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් හා රන් ආභරණ වත්තල ප්‍රදේශයේ පිහිටි සැකකාරියගේ නිවෙසේ තිබී සොයා ගැනිණි.

මේ සැකකාරිය එම කෝවිලට දිනපතාම පැමිණෙන තැනැත්තියක් වන බවද කියති.

අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය 68 වන වියේ පසුවන දෙදරු මවක් වන අතර ඇය මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබිණී.

මේ වැටලීමට කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුසන්ත කුමාර මහතාගේ උපදෙස් අනුව එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රෝභණ නන්දසි, පොලිස් සැරයන් සිසිර ( 2725 ), පොලිස් කොස්තාපල්වරුන් වන සේනාධීර ( 9087 ), ලක්මාල් ( 82436 ), පත්මසිරි ( 79778 ) හා නිලුකා ( 8412 ) යන නිලධාරීහු සහභාගි වුහ.