2027 වසරේ සිට අයකිරීමට නියමිත දේපළ බද්ද බොහෝ විට දැනට අය කරන වරිපනම් බද්දට සමාන බද්දක් විය හැකි බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.
මේ අතර ඔක්තෝබර් පළමුවැනිදා සිට ඩිජිටල් සේවා සඳහා අය කරන 18%ක වැට් බද්ද හරහා ක්ෂේත්‍ර රැසකටම දැඩි බලපෑමක් එල්ල වන පසුබිමක සමස්ත ලංකා සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයද පවසන්නේ තම ක්ෂේත්රයටද ඉන් බලපෑම් ඇති වන බවයි.
ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව යළි සලකා බලන ලෙසයි.
විදේශයක සිටින තැනැත්තන්ද ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තෙකුට සේවා සැපයීමේදී එනම් ඩිජිටල් සේවා සඳහා අය කරන 18%ක වැට් බද්ද ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වනවා.
ඒ අනුව සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම, මාර්ගගත වෙළෙඳසැල්, ඩිජිටල් අලෙවිකරණය සහ වෙළෙඳ ප්‍රචාරණය, සයිබර් ආරක්ෂණ සේවා, වීඩියෝ, සංගීතය මෙන්ම සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා, මාර්ගගත බැංකුකරණය, සමාජ මාධ්‍ය වේදිකා, ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා, වෙළෙඳපොළ වේදිකා, සූදූ ක්‍රීඩා වේදිකා, හෝටල් වෙන් කිරීම් මෙන්ම ටිකට්පත් වෙන් කරවා ගැනීම් සඳහා යෙදවුම් භාවිතයේදී ඇතුළු සේවා රැසක් මෙම වැට් අය කිරීමට යටත් වනවා.
කෙසේ වෙතත් හෝටල් ක්ෂේත්රය ඇතුළු ඩිජිටල් ක්ෂේත්රයට සම්බන්ධ රැකියාවල නියුතු විශාල පිරිසකට මින් බලපෑම් එල්ලවන බව එම ක්ෂේත්රවලට සම්බන්ධ පුද්ගලයින් පවසනවා මේ අතර TEMU, ALI EXPRESS වැනි E -COMMERCE වෙබ් අඩවි මගින් මෙරටට භාණ්ඩ ගෙන්වීමේ ක්‍රමවේදය හේතුවෙන් ඉකුත් සමයේ රජයට දිනකට රුපියල් මිලියන 50ක පමණ බදු ආදායම් අහිමි වී ඇති බව ව්‍යාපාරික සංගම් පෙන්වා දෙනවා.