විශ්වවිද්‍යාලවල හිංසන නැවතීමට ක්‍රමවේදයක් සකසන්න

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවන සියලු ආකාරයේ හිංසනයන් නතර කිරීමට කෙටි හා දිගු කාලීනව ක්‍රමවේද සහ යන්ත්‍රණ සකස් කරන ලෙස අගමැති, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.

උසස් අධ්‍යාපන ආයතනවල නවකවදය, හිංසනය හා සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කිරීම සඳහා වන ජාතික කාර්ය සාධක බළකායේ සාමාජිකයන් සහ අගමැතිවරිය අතර පෙරේදා (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවේ දී අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

නීතිමය ක්‍රියාමාර්ගවලින් පමණක් මෙය අවසන් කළ නොහැකි බැවින් පවතින නීති යාවත්කාලීන කළ යුතු බවත් විශ්වවිද්‍යාල තුළ ආකල්ප සංවර්ධන වැඩසටහන් වැනි දේ සංවිධානය කළ යුතු බවත් අගමැතිනිය පැවසුවා ය.

විශ්වවිද්‍යාල පද්ධතියේ සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවක වදය, හිංසනය හා සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැලැක්වීමට අවශ්‍ය නිර්දේශ සහ කටයුතු සම්පාදනය කරන ලෙස අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය එම ජාතික කාර්ය සාධක බළකායට දැනුම් දුන්නාය.

විශ්වවිද්‍යාල පද්ධතියේ මෙන්ම උසස් අධ්‍යාපන ආයතන තුළ ශිෂ්‍යයන්ගෙන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් සිදු වන සියලු ආකාරයේ හිංසනයන් සොයා බැලීමට සහ ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට වසර 3ක් සඳහා පත් කර ඇති මෙම කාර්ය සාධක බළකායට අවශ්‍ය බලය සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවත් අගමැතිවරිය කියා සිටියාය. මෙවැනි හිංසනකාරී සිදුවීම් සඳහා පුද්ගලික වශයෙන් මෙන්ම සාමාජයීය වශයෙන් බලපාන හේතු පවතින බව මෙහි දී කාර්ය සාධක බළකායේ නියෝජිතයින් පෙන්වා දුන් අතර අධ්‍යාපන පරිපාලනය, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙන්ම සිසුන් අතර නිසි සබඳතාවක් ගොඩනැ‍ඟී නොතිබීම, නවකවදය පිළිබඳ සිසුන් තුළ පවතින වැරදි ආකල්ප, අවනත කරගැනීම සහ ගෞරවය ලබා ගැනීම සඳහා හිංසනය භාවිත කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහි දී නියෝජිතයන් විසින් පැහැළිදි කළහ. විශ්වවිද්‍යාල පද්ධතියේ සිසුන්ට ලකුණු ලබා දීමේ දී සහ පන්ති සාමර්ථ ලබා දීමේ දී පරිපාලනය සහ ආචාර්යවරුන් සිසුන් සඳහා සිදු කරන බලපෑම් නිසා සිසුන් ආතතියට පත්වීම වැනි කරුණු පිළිබඳ ද මෙහි දී අවධානය යොමු විය.

විවිධ ආකාරයේ හිංසනයන්ට ලක්වන සිසුන් කෙරෙහි අවධානය යොමුකිරීම මෙන්ම, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වන පරිදි කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවැසීය.