ග්‍රාම නිලධාරීන් සැලසුම් කළ විරෝධතාවය අමාත්‍යංශ ලේකම් සමග සාකච්ඡාවෙන් පසුව තාවකාලිකව නවතා දමයි

2009/2010 වසරවලදී බඳවා ගත් ග්‍රාම නිලධාරී කණ්ඩායමේ පවතින ශ්‍රේණි ගැටළු සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ නිහඬ විරෝධතාව තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, 2009/2010 කණ්ඩායමේ ග්‍රාම නිලධාරින් සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශ ලේකම් ඇතුළු නිලධාරින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

2009/2010 ග්‍රාම නිලධාරින්ගේ ශ්‍රේණි ගැටලුව සඳහා විෂයභාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඉදිරි සතිය ඇතුළත නිශ්චිත විසඳුමක් ලිඛිතව ලබාදෙන බවට අමාත්‍යංශ ලේකම්වරයා අදාළ සාකච්ඡාවේදී දැනුවත් කළ බව ග්‍රාම නිලධාරී එකමුතුවේ මාධ්‍ය ලේකම් කුමුදු වඩුමුල්ල පවසා සිටියා.

මෙම එකඟතාව හේතුවෙන් මාර්තු 03 වැනි දින පැවැත්වීමට නියමිතව තිබුණු නිහඬ විරෝධතාව තාවකාලිකව අවලංගු කරන බවත්, ඉදිරි සතිය ඇතුළත විසඳුමක් නොලැබුණහොත්, මාර්තු 16 වන දින මෙම නිහඬ විරෝධතාවය වෙනුවට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සමගින් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.