ක්ෂේත්‍ර සෝදිසි මෙහෙයුම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නවීනතම CCTV නිරීක්ෂණ කැමරා පද්ධති සහිතව වැඩිදියුණු කරන ලද වෑන් රථ දෙකක් ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී මෙම වාහන නිල වශයෙන් භාරදීම සිදු කර තිබෙන බවයි සඳහන් වන්නේ.
2010 දෙසැම්බර් 29 වන දින ස්ථාපිත කරන ලද පොලිස් සමීප රූප නිරීක්ෂණ කැමරා කොට්ඨාසය සතුව පැවති පැරණි වෑන් රථ දෙකක් මෙලෙස නවීන තාක්ෂණය යොදා ගනිමින් වැඩිදියුණු කර මෙහෙයුම් කටයුතු සඳහා යොදවා තිබෙන බව සඳහන්.
එම වාහන දෙක නවීකරණය කිරීම සඳහා රුපියල් 9,794,000 ක මුදලක් වැය කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මෙම වෑන් රථ රථවාහන පාලන කටයුතු, දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන්ගේ ආරක්ෂක කටයුතු, ආගමික, සංස්කෘතික සහ ක්‍රීඩා උත්සව නිරීක්ෂණය සඳහා මෙන්ම රථවාහන දත්ත රැස්කිරීමත්, විරෝධතා, මහජන රැස්වීම් සහ පෙරහැර ආදිය නිරීක්ෂණය කිරීම සඳහාත් යොදා ගැනීමට නියමිතයි.








