පන්දුවාර 20 ලෝක කුසලානයේ සුපිරි 08 දෙනා වටයේ ශ්රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (28) පැවැත්වෙනවා.
ඒ පාකිස්ථානු කණ්ඩායම සමගයි.
තරගය රාත්රී 07.00ට මහනුවර පල්ලෙකැලේ ක්රීඩාංගනයේදී ආරම්භ වනු ඇති.
නවසීලන්තය සමග මීට පෙර පැවති තරගය පරාජය වීමත් සමග ශ්රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.
මස්පිඩු ආශ්රිත ආබාධ තත්වයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් අද තරගයට ක්රීඩා නොකරන අතර, ඒ වෙනුවට කමිල් මිෂාර කඩුළු රකින්නා ලෙස කණ්ඩායමට එක්වනු ඇති බවයි ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
එමෙන්ම මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට පහසුවෙන්ම සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායමට තිබූ අවස්ථාව අහිමි කරමින් සුපිරි 8 ඊයේ රාත්රියේ අවසන් වූ තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට එංගලන්තය සමත් වුණා.
පල්ලේකැලේ ක්රීඩාංගණයේ පැවති මෙම තරගයේ නවසීලන්ත කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 160ක ඉලක්කය තරගයේ අවසන් පන්දුවාරයේ පන්දු 3ක් ඉතිරිව තිබියදී පසුකර යෑමට එංගලන්තයට හැකිවුණා.
මෙම තරගය නවසීලන්තය ජයගත්තා නම් ශ්රී ලංකාවට එරෙහිව අද පැවැත්වෙන තරගයේ කුමන ප්රතිඵලය ලැබුවත්, පාකිස්ථානයට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවීමට ඉඩ තිබුණා.
ඒ අනුව පාකිස්ථානයට තවමත් අවසන් පූර්ව වටය විවෘතව පවතිනනවා.
අද පැවැත්වෙන තරගයෙන් ශ්රී ලංකාව ලකුණු 64කින් හෝ ශ්රී ලංකාව ලබාදෙන ඉලක්කය පන්දුවාර 13යි එක් පන්දුවකට අඩුවෙන් සම්පූර්ණ කළහොත් පාකිස්ථානයට අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කරගත හැකිවනු ඇත.







