පරණ නාය­ක­යින්ට ශ්‍රීල­නි­පය ගොඩ­ගන්න බෑ

මේ දින­වල අති­ශය කාර්ය­බ­හු­ලයි වගේ නේද?“ඒක හරි. සැබෑ මහ­ජන නියෝ­ජි­තයෝ එහෙ­මනේ. මේ දින­වල විප­ක්ෂයේ භූමි­කා­ව­ටනේ පණ­පො­වන්නේ. ආවාට ගියාට කතා කරන්නේ නැහැ. ගැටලු පිළි­බඳ, කරුණු කාරණා ගැන හරි­හැටි සොයා බැලී­මෙන් පසුව තමයි අපට විප­ක්ෂය විදි­ය­ටත් ප්‍රබල කරුණු ඇසු­රින් පද­න­ම­කින් යුතුව කතා කරන්න පුළු­වන් වෙන්නේ. සත්‍ය සිද්ධි ඇසු­රින් අව­බෝ­ධ­යක් ඇතිව කට­යුතු කිරී­මයි වැද­ගත්. ඒ මිසෙක ඕපා­දූප කීම නෙවෙ­යිනේ. අපි අපේ ඒ කාර්යය වෙනු­වෙන් රජයේ තැන්ව­ල­ටත් යනවා.”

තර­මක කල­කි­රුණු ගති­යක් ඔබේ කියුම් කෙරුම් දිහා බැලු­වාම පෙනෙ­නවා?

“කල­කි­රීම් නැතුවා නෙවෙයි. මම උග­ත්ක­මක් ඇතිව දේශ­පා­ල­න­යට ඇවිත් ඉන්නේ. මං නීතිඥ වෘත්ති­යත් කැප කර­ගෙ­නයි දේශ­පා­ල­නයේ යෙදුණේ. ඒ කැප­කි­රීම් කළත් මිනි­ස්සුන්ට එහි වටි­නා­ක­මක්, අග­යක් වැට­හෙන්නේ නැහැ. කෙළෙහි ගුණ­යක් නැහැ. අද මගෙන් ප්‍රයෝ­ජන අරන් හෙට තවත් කෙන­කු­ගෙන් ප්‍රයෝ­ජන ගන්න පෙල­ඹෙන තැන­කට අද මහ­ජන දේශ­පා­ල­නය තල්ලු වී තිබෙ­නවා. ඒ කල­කි­රීම තමයි යම්කිසි විදි­යට අපෙන් විටින් විට එළි­යට එන්නේ.

ඒත් එක්කම මේ ආණ්ඩුව බල­යට ඒමත් එක්ක පරුෂ වච­න­යෙන් බැණ වදින, වැද­ග­ත්ක­ම­කින් නොස­ල­කන පහත් තැන­කට දේශ­පා­ල­නය වැටී තිබෙ­නවා.

ඒ වගේ තුන්වැනි පන්තියේ දේශ­පා­ල­න­යක් දැන් තියෙන්නේ. ඉස්සර ජවිපෙ එහෙම තැනක තිබුණේ නැහැ. වැද­ගත් විවේ­චන කළේ. අද පොහො­ට්ටුවේ හිටිය තුන්වැනි පන්තියේ මිනිස්සු ටිකක් ගිහින් ජවි­පෙට හේත්තු වෙලා ඉන්නේ. ඒ වගේම, සමාජ මාධ්‍ය­යෙන් අපට දොස් නඟන ඇතැ­මුන්ගේ කියුම් කෙරුම් ගැනත් කන­ගා­ටුයි.

දැක­ලා­වත් නැති අය ද්වේෂ­ස­හ­ග­තව අපිට සමාජ මාධ්‍ය­ව­ලින් නිර­ප­රාදේ දොස් නඟ­නවා. ඒවා අහන්න වෙලා තියෙන්නේ දේශ­පා­ල­නයේ යෙදීම නිසානේ. ඒත් ජන­තාව වෙනු­වෙන් කල්පනා කර­මින් මං ජීවි­තයේ බොහෝ කාල­යක් මහ­ජන සේවය වෙනු­වෙන් කැප කළේ. දැන් මම නැවත උසාවි කට­යුතු වලට සහ­භාගි වෙනවා.”

ඒ කියන්නේ ඔබට ආධා­ර­ක­රු­වන්, අනු­ගා­මි­ක­යන් පිරි­සක් හදා ගන්න බලා­පො­රො­ත්තු­වක් නැතිද?

“මම නාය­කයෝ හැදුව කෙනෙක්. ඒ මිසෙක නාය­ක­යන් නැති කළ කෙනෙක් නෙවෙයි. සම­හර දිස්ත්‍රි­ක්ක­වල හිටිය ප්‍රධාන දේශා­පා­ලන චරිත ඒ පක්ෂ­ව­ලින් වෙනත් කිසිම නාය­ක­යකු බිහි කර­න්නට ඉඩ දුන්නේ නැහැනේ. නාය­ක­යන් විනාශ කළානේ. ඒත් මගේ දේශ­පා­ලන ජීවි­ත­යේදී කිසිම දේශ­පා­ල­ක­යකු විනාශ කර­න්නට කට­යුතු කළේ නැහැ. තුෂාර අම­ර­සේන මහතා පළාත් සභාවේ මගේ ලේක­ම්ව­ර­යායි. ඔහුව පළාත් සභා­වට පත් කර ගැනී­මට මම වෙහෙ­සුණා. ඉන් එහාට ඔහු පාර්ලි­මේ­න්තු­ව­ටත් ගියා.

අපි ඒ හයිය දුන්නා. හැම කෙන­කු­ටම දේශ­පා­ල­නයේ ඉඩක් තියෙන්න ඕනෑ. ඒත් හුඟක් පක්ෂ­වල එහෙම නැහැ. විශේ­ෂ­යෙන් මේ ආණ්ඩුව බල­යට එන්නත් ඒ කාර­ණ­යම බල­පෑවා. තමන්ට පක්ෂය හෝ දිස්ත්‍රි­ක්කය ඇතු­ළෙන් මතු­වෙන්න ඉඩ නොලැ­බෙන බවක් ඒත්තු ගැන්වු­ණාම හුඟක් දක්ෂ දේශ­පා­ල­න­ඥ­යන් ඒ තැන් හැර ගිහින්, වෙනත් පක්ෂ තෝරා ගන්නවා. හැබැයි මං කිසිම කෙන­කුට කපලා නැහැ. දේශ­පා­ල­න­යෙන් ඉහළ යෑමට වෙහෙස මහන්සි වෙන ඕනෑම කෙන­කුට පුළු­වන් කිය­ලායි මම කියන්නේ.”

ඔබේ දේශ­පා­ලන අර­මුණ ගැනත් කිවු­වොත්?

“මම ප්‍රාදේ­ශීය සභාවේ හිටිය කෙනෙක්. පළාත් සභා මහ ඇමැ­ති­ව­ර­යකු විදි­ය­ටත් කට­යුතු කළා. කැබි­නට් අමා­ත්‍යාංශ ගණ­නා­වක ඇමැති ධුර හොබවා තිබෙ­නවා. දැන් ඒ ඉලක්ක පසු­කර හමා­රයි. ඉන් එහාට අග­මැති, ජන­පති තන­තු­රුනේ තියෙන්නේ. ඉතින් මම බලා සිටි­නවා. මහ­ජන ප්‍රසා­දය, වාස­නාව, උන­න්දුව, කැප­වීම අනුව ඒක අනා­ග­ත­යේදී තීර­ණය වෙන්න ඕනෑ දෙයක්. ඒක දැන්මම කතා කරන්න වුව­මනා දෙයක් නෙවෙයි. අපි අපේ වැඩ කිරීමේ භාවි­තය අනුව ඒක තීර­ණය වෙයි.”

ඒ ගම­නට නිද­හස් පක්ෂයේ මහ­ලේ­කම් ධුරය ආලෝ­ක­යක් වෙයි කියලා විශ්වාස කර­නවා ද?

“අපේ පක්ෂය ඉදි­රි­යට ගෙන­යෑ­මට නම් මහ­ලේ­කම් ධුරය ඉතා වැද­ගත් වෙනවා. පක්ෂය අලු­තින් හද­න්නට නම් අලුත් නාය­ක­ත්ව­යක් අනි­වා­ර්ය­යෙන් අව­ශ්‍යයි. පැරණි නාය­ක­යන්ට පක්ෂය ගොඩ­ගන්න හැකි­යා­වක් නැහැ. තන­තුරු අනි­වා­ර්ය­යෙන් වෙනස් විය යුතුයි. ඒ අනුව පැරණි දේශ­පා­ල­න­ඥ­යන්ට නිද­හස් පක්ෂය භාර දෙනවා වගේම, අලුත් නාය­ක­යන්ගේ පැමි­ණී­මත් වෙන්න ඕනෑ. අනෙක, පක්ෂයේ නාය­කයා කියා ගන්නා පුද්ග­ල­ය­කුම ‘ අපට අග­මැ­ති­කම ඕනෑත් නැහැ, ජනා­ධි­ප­ති­කම ඕනෑත් නැහැ’ කිවු­වාම, පක්ෂයේ පහළ පාක්ෂි­කයෝ, එහෙම නම් ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­කම ද ඕනෑ කියලා බල­න­වානේ. මහ­ලේ­කම් ධුරය දර­මින් සිටි­ය­දීයි මාව ඉතා අසා­ධා­රණ විදි­යට මෛත්‍රී­පාල සිරි­සේන මහ­ත්මයා ඉවත් කළේ.

මේ වන විට එතු­මාට විරු­ද්ධව අධි­ක­ර­ණයේ පැවරූ නඩු­වට අදාළ තීන්දු­වෙන් මා ඉවත් කිරීම වැරදි බව පැහැ­දි­ලිව සඳ­හන් වෙනවා. ඒ හැරෙ­න්නට ඉතා මෑත­කදී ලැබුණු නඩු තීන්දු­වෙන් කිය­වු­ණේත් මට නිද­හස් පක්ෂයේ මහ­ලේ­කම් ධුරයේ කට­යුතු කිරී­මට කිසිම බාධා­වක් නැති බවයි. ඒ අනුව නිමල් සිරි­පාල ද සිල්වා, දුමින්ද දිසා­නා­යක මහ­ත්ව­රුන් පත්වුණු විදිය සම්පූ­ර්ණ­යෙන් වැර­දියි. එසේම, ඒ අය ගත් තීන්දු බල­ශුන්‍ය බවත් අදාළ නඩු තීන්දුවේ කිය­වෙ­නවා. අපි එය අඩුම තරමේ අග­මැති ධුර­යට, ජනා­ධි­පති ධුර­යට තරග කරන්න පුළු­වන් පක්ෂ­යක් බවට පත් කළ යුතුයි. පාක්ෂි­ක­යන් පක්ෂය වටා එකතු වෙන්නේ අපි දැක්මක් ඇතිව කට­යුතු කළොත් විත­රයි. මම ඒ වෙනු­වෙන් ඇප­කැප වී සිටි­නවා.”

අපි වෙන­ත­කට හැරෙමු. ආණ්ඩුවේ වැඩ­පි­ළි­වෙළ හි පැස­සු­මට ලක්වී තිබෙ­නවා නේද?

“හැබැයි මේ IMF එකට විරෝ­ධය දැක්වූ ආණ්ඩු­වක්. ඉතා පැහැ­දි­ලි­වම එහි යෝජනා තරයේ ප්‍රති­ක්ෂේප කර­මින් කට­යුතු කළේ. බල­යට එන්න කලින් කිවුවේ අනි­වා­ර්ය­යෙන් IMF යෝජනා වෙනස් කර­නවා කිය­ලයි. අලුත් යෝජ­නා­ව­ලි­යක් ඉදි­රි­පත් කරන බවයි. ඒත් දැන් වෙලා තියෙන්නේ IMF යෝජනා IMF එක­ටත් වඩා පිළි­ග­නි­මින් වැඩ කරන එකයි. ගිය සතියේ භාණ්ඩ හැට ගණ­න­කට පැනවූ ටැක්ස් එකෙන් පස්සේ රුපි­යල් එක­සිය පන­හක සිට තුන්සි­යය දක්වා බඩු මිලත් වැඩි වෙනවා. මේ රටේ මිනි­ස්සු­න්ගෙන් බදු එකතු කර ගන්නා තුරු ආණ්ඩු­වට නින්ද යන්නේ නැහැනේ. ආදා­යම පෙන්වන්නේ එහෙ­මනේ.

ඒත් අපි බදු ගැහැ­ව්වාම ආණ්ඩුව කරන කට්ටිය කිවුවේ අපි ජන­තාව සූරා­ක­නවා කිය­ලයි. දැන් ආණ්ඩුව මුළු­ම­නින්ම ග්‍රහ­ණයේ පසු­වෙන්නේ. ඉතින් IMF එකෙන් පැස­සුම් ලැබෙන එකේ අරු­ම­යක් නැහැ. ජන­තා­වගේ බොටුව හිර කර­න්නයි එයාලා කියන්නේ. ජන­තා­වට සහන දෙන තැනක නෑ. සාමාන්‍ය මිනිස්සු තමයි එයින් පීඩා විඳින්නේ. හැබැයි, ආණ්ඩුව IMF එකත් එක්ක ආණ්ඩුව ගෙවන මධු­ස­මය කොයි­වෙලේ හමාර වෙයි ද කිය­න්නත් බැහැ.”

ඒත් සූර්ය බල­ශ­ක්තිය කෙරෙහි ආණ්ඩුව විශ්වා­ස­යක් තබා තිබෙ­නවා?

ආණ්ඩුව කියන්නේ 2030 වන විට සූර්ය බල­ශ­ක්තිය භාවි­තය හුඟක් වැඩි කර­නවා කිය­ලයි. හැබැයි ඒක­ක­ය­කට රුපි­යල් 37ක් ගෙවූ සූර්ය විදුලි ඒක­කයේ මිල මෙයාලා 15ට බැස්සුවා. ඉතින් පාඩු නිසා කවු­රුත් ඊට ආයෝ­ජ­නය කරන්නේ නැහැ. ඒත් ඩීසල් බලා­ගා­ර­ව­ලින් විදුලි ඒක­ක­යක් රුපි­යල් 85ට ගන්නේ. අපි යම් විදි­යට සූර්ය බල­ශක්ති ඒක­ක­ය­කට ගෙවන මිල රුපි­යල් 25ටවත් ගෙනා­වොත් ආයෝ­ජ­ක­යන් එයි. දැන­ටත් මෙරට වහල මත සූර්ය පැනල සවි­කළ එක්ලක්ෂ පනස් දහ­සක් දෙනෙක් සිටි­නවා. පවුල් හැට­පන් ලක්ෂ­යක් පමණ මෙරට ඉන්නවා. ඒ අනුව සූර්ය පැනල මඟින් විශාල දාය­ක­ත්ව­යක් ලැබිය හැකියි. ඒත් එතැ­නට නොයා වෙනම වැඩක්නේ මේ කරන්නේ.”

අපි දැන් වෙන­ත­කට හැරෙමු.

සජබ – යූඑන්පී හවුල බකල් වෙලා වගේ නේද?

“ඒක දක්ෂි­ණාං­ශික පක්ෂ දෙකක්නේ. එකක් විදි­යට තිබු­ණත් අද දෙකට බෙදී තිබෙ­නවා. නැවත එකක් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. ඒත් යම් සන්ධා­න­ග­ත­වී­මක් වෙතැයි අපේක්ෂා කර­නවා. එයින් දකුණේ දේශ­පා­ල­න­යට විශාල බල­පෑ­මක් වෙතැයි විශ්වාස කර­නවා. රනිල් වික්‍ර­ම­සිංහ – සජිත් ප්‍රේම­දාස මහ­ත්ව­රුන් මුලින් එක­ඟ­තා­ව­කට පැමි­ණිය යුතුයි. එවි­ටයි වැඩක් වෙන්නේ.”

ඔබට හිටපු ක්‍රීඩා ඇමැ­ති­ව­ර­යෙක් විදි­යට ක්‍රීඩාවේ මතු දවස ගැනත් අද­හ­සක් ඇති?

“ක්‍රීඩා අමා­ත්‍යාං­ශයේ වෙමින් තිබෙන දේවල් ගැන කන­ගා­ටු­දා­ය­කයි. ක්‍රීඩාව ගැන කිසිම දැනු­මක් නැති අය­ටයි ඒක බාර දී තිබෙන්නේ. අනෙක, එහි නිල­ධා­රීන් ක්‍රීඩා සංගම් එක්ක සහ­ස­ම්බ­න්ධයි. හැබැයි මගේ කාල­යේදී මම ක්‍රීඩා සංගම් හැත්තෑ හය­ටම ඕනෑම වේලා­වක මා හමු­වී­මට ඉඩ හැරියා. ඒ අනුව ඕනෑම ගැට­ලු­වක් සාක­ච්ඡා­වෙන් කල් නොයවා විස­ඳ­න්නත් හැකි­වුණා. නිල­ධා­රීන්ගේ තීන්දු­ව­ලට මම ‘හා’ කියලා නිකං හිටියේ නැහැ. පෞද්ග­ලි­ක­වත් ඒ ගැන සොයා බැලුවා.

අනෙක, ක්‍රීඩා ව්‍යව­ස්ථා­වට උඩින් කිසි­යම් සංග­ම­යක ව්‍යව­ස්ථාව තියෙන්න බැහැ. ඒත් අද එහෙම වෙලානේ. නෙට්බෝල්, කරාතේ ආදී ක්‍රීඩා, අමා­ත්‍යාං­ශයේ නොසැ­ල­කි­ලි­ම­ත්භා­වය හා තීන්දු ගැනීමේ පමාව නිසා අද අධි­ක­ර­ණ­යෙන් සාධා­ර­ණ­යක් අපේක්ෂා කරන තැන­ටත් ගිහින්. හැබැයි අපි අමා­ත්‍යාංශ මට්ට­මෙන් ඒ ගැටලු විසඳා දුන්නා.

මේ හැර විදෙස් ක්‍රීඩා තර­ග­ව­ලට යෑමට අඩු ඉඩක් දැන් දෙන්නේ. ජාත්‍ය­න්තර තර­ග­ව­ලට ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් සහ­භාගි කර­වී­මට අපි නම් කලින් මුදල් වෙන් කර ගත්තා. එයින් ගුවන් ටික­ට්පත් වෙන් කිරීම් ආදී ගැටලු ඇති වුණේ නැහැ. ඇතැම් විට අපිම නවා­තැ­න්පො­ළත් සොයා දුන්නා.

ඉකුත් කාල­යේදී විදෙස් සංචාර ගණ­නා­ව­කට මෙරට ක්‍රීඩ­ක­යන් සහ­භාගි වුණේ නැහැ. ඇමැ­ති­ව­ර­යා­ගෙන් පැරා ඔලි­ම්පික් කණ්ඩා­යම පිට­රට නොයැ­වී­මට හේතු විමසූ විටදී ඔහු කිවුවේ ඊට විය­දම අධික බවයි. ඒත් ඊට හේතුව ආබාධ සහිත තැනැ­ත්තන්ට සාමාන්‍ය අයට වඩා විශේෂ පහ­සු­කම් ගණ­නා­වක් අවශ්‍ය වීමයි. ඒ වැරදි අව­බෝ­ධය නිවැ­රදි කළ විටදී පසුව ඒ කණ්ඩා­ය­මට විදෙ­ස්ගත වීමට ඉඩ දී තිබුණා. ඔය වගේ ගැටලු රැසක් එතැන තියෙ­නවා. ඒත් හිටපු ඇමැ­ති­ව­ර­යෙක් විදි­යට මම ඕවා ඊර්ෂ්‍යා­වට කිය­නවා කියලා හිත­නවා ඇතිනේ. හැබැයි මේ ගැනත් මම බලන් හිටියා ඇති. මෙහෙම ගියොත් වැඩි කලක් යන්න කලින් ක්‍රීඩා අමා­ත්‍යාං­ශය නැති­භංග වෙනවා. ඉතින් මම ඒ වැරදි ගැනත් ඉදි­රි­යේදී තව­දු­ර­ටත් කතා කර­නවා.”

මිනි­ස්සුන්ට සංස්කෘ­තික ජීවි­ත­යක් හිමි විය යුතු බව ආණ්ඩුව කිය­නවා. ඒ වෙනු­වෙන් වැඩ­පි­ළි­වෙ­ළ­කුත් ක්‍රියා­වට නංවා තිබෙ­නවා. ඒ ගැනත් යහ­පත් අද­හ­සක් නැතිද?

“මූලික වශ­යෙන් රටක් විදි­යට අපි සතු­ටින් ඉන්න නම් ආර්ථික ශක්ති­යක් තියෙ­න්නම ඕනි. නාට්‍ය­යක් නැර­ඹී­ම­ටත්, චිත්‍ර­ප­ට­යක් බැලී­ම­ටත්, සංගී­තය රස­වි­ඳී­ම­ටත් මිනි­හ­කුගේ ආර්ථි­කය යහ­පත් වෙන්න ඕනෑ­මයි. ආර්ථි­කය වැටුණු මිනි­හෙක් කව­දා­වත් අනෙත් අතට කලා­වෙන්, සංස්කෘ­ති­යෙන් සෑහී­ම­කට පත් වෙන්නේ නැහැනේ. ආර්ථි­කය ශක්ති­මත් කළ යුතුයි. දෙව­නුව කලා, සංස්කෘ­තික දක්ෂතා ඇත්තන් රැසක් මෙරට සිටි­නවා. ඒ අයට අත දීමට නිසි වැඩ­පි­ළි­වෙ­ළක් තවම නැහැ. ඒ හැරෙ­න්නට පුරා­වි­ද්‍යාව ආණ්ඩුව යටතේ පල්ලම් බැහැ­ගෙන යන්නේ. ඇතැම් පුරා­විද්‍යා නට­බුන් නීති­වි­රෝ­ධිව ගල­වා­ගෙන අරන් යනවා. මාතලේ සෙල්ලි­පි­යක් අරන් ගිහින් මහ­නු­වර දිසා­පති කාර්යා­ලයේ සවි කරන්න හැදුවා. ඒවා අදාළ පුද්ග­ල­යන් හිරේ යන තරමේ වැරදි. මෙරට සංස්කෘ­ති­යත් අද සෝදා­පා­ළු­වට යමින් තියෙන්නේ. පුරා­විද්‍යා ස්ථාන­ව­ල­ටත් අත් වී ඇති ඉර­ණම එය­මයි. කුරු­ණෑ­ගල, අනු­රා­ධ­පු­රය, වවු­නි­යාව, මන්නා­රම ආදී දිස්ත්‍රි­ක්ක­යන්හි මෙරට වැඩි­පු­රම පුරා­විද්‍යා ස්ථාන පිහිටා තිබෙන්නේ. දෙමළ අන්ත­වා­දීන්ගේ විනාශ කිරීම් හැරෙ­න්නට ආණ්ඩු­වත් ඒවා විනාශ කිරීම අතින් විශාල කාර්ය­භා­ර­යක් කරන බවයි අපිට දකින්න තිබෙන්නේ.”

අපි අව­සාන වශ­යෙන් ආණ්ඩුවේ විදෙස් ප්‍රති­ප­ත්තියේ දියුණු තියු­ණු­භා­වය ගැන කියමු ද?

“හැබැයි මට නම් ඒ ගැන වැට­හෙ­න්නේම නැහැනේ. ආණ්ඩුවේ විදේශ ප්‍රති­ප­ත්ති­යත් ආණ්ඩුව වගේ­මයි. කිසිම ප්‍රති­ප­ත්ති­යක් නැති එක­මයි ආණ්ඩුවේ විදේශ ප්‍රති­ප­ත්තිය වෙලා තියෙන්නේ. හැබැයි, අපි නොබැඳි පිළි­වෙ­තක් අනු­ග­ම­නය කළ රටක්. ඒ වෙනු­වට අද ආණ්ඩුව විශාල ඝට්ටන අපට සමීප රට­වල් එක්ක ඇති කර­ගෙන ඉන්නේ. ඉන්දි­යා­වත් චීන­යත් අපට වැඩි­පුර උදවු කරන්න එද්දී ඒ දෙපි­රිස විර­සක කර නොගෙන ඉන්න බල­නවා. අනෙත් පැත්තෙන් අමෙ­රි­කාව ආදීන් සිටි­නවා. ඒ ඒ වෙලා­වට ඒ ඒ රට­වල් ෂෙඩුල් කරන්න හදන වැඩ­පි­ළි­වෙ­ළක් විත­රයි ආණ්ඩුවේ තිබෙන්නේ.