PayPal ගැන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවට PayPal පහසුකම හඳුන්වා දීම පිළිබඳව තවමත් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර නොමැති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල සඳහන් කරනවා.

කෙසේ වෙතත් විශේෂයෙන්ම මෙරට පෞද්ගලික බැංකු කිහිපයක් PayPal මව් සමාගම සමග එක්ව මෙම බාධක ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

ලේකම්වරයා මේ බව පවසා සිටියේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදීයි.

එහිදී ඔහු මෙසේද පැවසුවා,

“ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ සහ ගෙවීම් සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ගෙන් විමසුවා, නිල වශයෙන් තාමත් නිවේදනයක් නිකුත් කරලා නැහැ. යම් යම් ප්‍රගතියක් තියනවා පෞද්ගලික බැ‍ංකු කිහිපයක් PayPal සමාගම මව් සමාගමත් සමග ඒකාබද්ධ වෙලා මෙතෙක් සීමා වෙලා තිබ්බ අර “Inward Remittance” ලංකාව වෙත ප්‍රේෂණ ලබා ගැනීමට තිබ්බ බාධක අඩු කරලා යන්න සූදානම තියනවා. ඒක මම හිතන්නේ අවසාන අදියරේ තියන බව තමයි ශ්‍රී ලංකා මහ බැංකුවෙනුත් දැනුම් දීලා තියෙන්නේ.

මෙතනදි අපිට විශේෂ වාසියක් වෙන්නේ අපිට සාමන්‍ය credit හෝ debit කාඩ්වලින් කරන ගෙවීම්වලට අමතරව අපේ Online ක්‍රමවේද හරහා විදේශයන් එක්ක ගනුදෙනු කරන සුළු හා විශේෂයෙන් මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ට එහෙම නැත්නම් inteet based service providersලාට මේකෙන් හැකියාව ලැබෙනවා තමන්ගේ මොනවාද තියන ආදායම් ලබා ගැනීමේ ක්‍රමවේද පිළිබඳව නිශ්චිත ක්‍රමවේදයකට කරගන්න.

වෙනදා අපි දැක්කා මේ ලංකාවේ ලිපිනයක් භාවිත කිරීමට අවස්ථාවක් නොලැබීම නිසා බොහෝ එවැනි ව්‍යාපාර තමන්ගේ ව්‍යාජ ලිපිනයක් හෝ වෙනත් මිතුරෙකුගේ ලිපිනයක් භාවිත කරලා විදේශ රටක ගිණුමක් යටතේ තමයි ඒ පහසුකම ලබා ගන්නේ. එහි දී ලංකාවට ලැබෙන්න තියන විදේශ විනිමය අහිමි වීමක් සිද්ධ වෙනවා. මේ අලුත් පහසුකම ලැබිලා ඒක විධිමත් වුණොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන ක්‍රමවේද යටතේ එක අතකින් ඒ කණ්ඩායම් දෙකටම පහසුවක් වෙනවා පාරිභෝගිකයන්ට වගේම PayPal Account එකක් තියන සාමාන්‍ය පාරිභෝගිකයන්ට වගේම මේ මාර්ගයෙන් තමන්ගේ ගනුදෙනු පියවා ගැනීම කඩිනම් කිරීමට බලාපොරොත්තු වෙන ව්‍යවසායකයින්ටත් මේ අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම තමයි අපි යම්කිසි අවස්ථාවක ඔවුන්ට ඒ කියන්නේ විනිවිදභාවයක් ලැබෙනවා මේ හරහා ලංකාවට අයථා ක්‍රමවලින් ඉවත් වෙලා, උන්ඩියල් වගේ ක්‍රම තියෙනවා ඒවගෙන් ඉවත්වෙලා අපි කියන විධිමත් ක්‍රමයකට සහ රජය පිළිගත් ක්‍රමයකට මේ අනුගත කිරීමක් සහ ඔවුන්ගෙන් ලැබිය යුතු යම්කිසි බදු මුදලක් තිබේ නම් ඒවත් ගණනය කිරීමේ රජයටත් යම් කිසි වාසියක් අත්පත් වෙනවා.”