සිය ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්, ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති විසින් අද (26) දහවල් 12.00 සිට සවස 6.00 දක්වා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඉල්ලීම් 08 කට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මේ දක්වාම ලැබී නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ලංවිම වෘත්තීය සමිති 21 ක් විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙන්නේ.
අදාළ ඉල්ලීම් දිනා ගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හැර වෙනත් කිසිදු විකල්පයක් සේවකයන්ට සහ එම සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති වෙත ඉතිරිව නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙම වැඩ වර්ජනය නිසා ඇතිවන සියලුම ආකාරයේ අහිතකර ප්‍රතිඵල සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් හෝ එම සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති වග නොකියන බවත්, එහි සම්පූර්ණ වගකීම විෂය භාර අමාත්‍යවරයා සහ වත්මන් ආණ්ඩුව භාර ගත යුතු බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.








