මේ දිනවල අතිශය කාර්යබහුලයි වගේ නේද?“ඒක හරි. සැබෑ මහජන නියෝජිතයෝ එහෙමනේ. මේ දිනවල විපක්ෂයේ භූමිකාවටනේ පණපොවන්නේ. ආවාට ගියාට කතා කරන්නේ නැහැ. ගැටලු පිළිබඳ, කරුණු කාරණා ගැන හරිහැටි සොයා බැලීමෙන් පසුව තමයි අපට විපක්ෂය විදියටත් ප්‍රබල කරුණු ඇසුරින් පදනමකින් යුතුව කතා කරන්න පුළුවන් වෙන්නේ. සත්‍ය සිද්ධි ඇසුරින් අවබෝධයක් ඇතිව කටයුතු කිරීමයි වැදගත්. ඒ මිසෙක ඕපාදූප කීම නෙවෙයිනේ. අපි අපේ ඒ කාර්යය වෙනුවෙන් රජයේ තැන්වලටත් යනවා.”

තරමක කලකිරුණු ගතියක් ඔබේ කියුම් කෙරුම් දිහා බැලුවාම පෙනෙනවා?
“කලකිරීම් නැතුවා නෙවෙයි. මම උගත්කමක් ඇතිව දේශපාලනයට ඇවිත් ඉන්නේ. මං නීතිඥ වෘත්තියත් කැප කරගෙනයි දේශපාලනයේ යෙදුණේ. ඒ කැපකිරීම් කළත් මිනිස්සුන්ට එහි වටිනාකමක්, අගයක් වැටහෙන්නේ නැහැ. කෙළෙහි ගුණයක් නැහැ. අද මගෙන් ප්‍රයෝජන අරන් හෙට තවත් කෙනකුගෙන් ප්‍රයෝජන ගන්න පෙලඹෙන තැනකට අද මහජන දේශපාලනය තල්ලු වී තිබෙනවා. ඒ කලකිරීම තමයි යම්කිසි විදියට අපෙන් විටින් විට එළියට එන්නේ.
ඒත් එක්කම මේ ආණ්ඩුව බලයට ඒමත් එක්ක පරුෂ වචනයෙන් බැණ වදින, වැදගත්කමකින් නොසලකන පහත් තැනකට දේශපාලනය වැටී තිබෙනවා.
ඒ වගේ තුන්වැනි පන්තියේ දේශපාලනයක් දැන් තියෙන්නේ. ඉස්සර ජවිපෙ එහෙම තැනක තිබුණේ නැහැ. වැදගත් විවේචන කළේ. අද පොහොට්ටුවේ හිටිය තුන්වැනි පන්තියේ මිනිස්සු ටිකක් ගිහින් ජවිපෙට හේත්තු වෙලා ඉන්නේ. ඒ වගේම, සමාජ මාධ්‍යයෙන් අපට දොස් නඟන ඇතැමුන්ගේ කියුම් කෙරුම් ගැනත් කනගාටුයි.
දැකලාවත් නැති අය ද්වේෂසහගතව අපිට සමාජ මාධ්‍යවලින් නිරපරාදේ දොස් නඟනවා. ඒවා අහන්න වෙලා තියෙන්නේ දේශපාලනයේ යෙදීම නිසානේ. ඒත් ජනතාව වෙනුවෙන් කල්පනා කරමින් මං ජීවිතයේ බොහෝ කාලයක් මහජන සේවය වෙනුවෙන් කැප කළේ. දැන් මම නැවත උසාවි කටයුතු වලට සහභාගි වෙනවා.”
ඒ කියන්නේ ඔබට ආධාරකරුවන්, අනුගාමිකයන් පිරිසක් හදා ගන්න බලාපොරොත්තුවක් නැතිද?
“මම නායකයෝ හැදුව කෙනෙක්. ඒ මිසෙක නායකයන් නැති කළ කෙනෙක් නෙවෙයි. සමහර දිස්ත්‍රික්කවල හිටිය ප්‍රධාන දේශාපාලන චරිත ඒ පක්ෂවලින් වෙනත් කිසිම නායකයකු බිහි කරන්නට ඉඩ දුන්නේ නැහැනේ. නායකයන් විනාශ කළානේ. ඒත් මගේ දේශපාලන ජීවිතයේදී කිසිම දේශපාලකයකු විනාශ කරන්නට කටයුතු කළේ නැහැ. තුෂාර අමරසේන මහතා පළාත් සභාවේ මගේ ලේකම්වරයායි. ඔහුව පළාත් සභාවට පත් කර ගැනීමට මම වෙහෙසුණා. ඉන් එහාට ඔහු පාර්ලිමේන්තුවටත් ගියා.
අපි ඒ හයිය දුන්නා. හැම කෙනකුටම දේශපාලනයේ ඉඩක් තියෙන්න ඕනෑ. ඒත් හුඟක් පක්ෂවල එහෙම නැහැ. විශේෂයෙන් මේ ආණ්ඩුව බලයට එන්නත් ඒ කාරණයම බලපෑවා. තමන්ට පක්ෂය හෝ දිස්ත්‍රික්කය ඇතුළෙන් මතුවෙන්න ඉඩ නොලැබෙන බවක් ඒත්තු ගැන්වුණාම හුඟක් දක්ෂ දේශපාලනඥයන් ඒ තැන් හැර ගිහින්, වෙනත් පක්ෂ තෝරා ගන්නවා. හැබැයි මං කිසිම කෙනකුට කපලා නැහැ. දේශපාලනයෙන් ඉහළ යෑමට වෙහෙස මහන්සි වෙන ඕනෑම කෙනකුට පුළුවන් කියලායි මම කියන්නේ.”
ඔබේ දේශපාලන අරමුණ ගැනත් කිවුවොත්?
“මම ප්‍රාදේශීය සභාවේ හිටිය කෙනෙක්. පළාත් සභා මහ ඇමැතිවරයකු විදියටත් කටයුතු කළා. කැබිනට් අමාත්‍යාංශ ගණනාවක ඇමැති ධුර හොබවා තිබෙනවා. දැන් ඒ ඉලක්ක පසුකර හමාරයි. ඉන් එහාට අගමැති, ජනපති තනතුරුනේ තියෙන්නේ. ඉතින් මම බලා සිටිනවා. මහජන ප්‍රසාදය, වාසනාව, උනන්දුව, කැපවීම අනුව ඒක අනාගතයේදී තීරණය වෙන්න ඕනෑ දෙයක්. ඒක දැන්මම කතා කරන්න වුවමනා දෙයක් නෙවෙයි. අපි අපේ වැඩ කිරීමේ භාවිතය අනුව ඒක තීරණය වෙයි.”
ඒ ගමනට නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය ආලෝකයක් වෙයි කියලා විශ්වාස කරනවා ද?
“අපේ පක්ෂය ඉදිරියට ගෙනයෑමට නම් මහලේකම් ධුරය ඉතා වැදගත් වෙනවා. පක්ෂය අලුතින් හදන්නට නම් අලුත් නායකත්වයක් අනිවාර්යයෙන් අවශ්‍යයි. පැරණි නායකයන්ට පක්ෂය ගොඩගන්න හැකියාවක් නැහැ. තනතුරු අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි. ඒ අනුව පැරණි දේශපාලනඥයන්ට නිදහස් පක්ෂය භාර දෙනවා වගේම, අලුත් නායකයන්ගේ පැමිණීමත් වෙන්න ඕනෑ. අනෙක, පක්ෂයේ නායකයා කියා ගන්නා පුද්ගලයකුම ‘ අපට අගමැතිකම ඕනෑත් නැහැ, ජනාධිපතිකම ඕනෑත් නැහැ’ කිවුවාම, පක්ෂයේ පහළ පාක්ෂිකයෝ, එහෙම නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීකම ද ඕනෑ කියලා බලනවානේ. මහලේකම් ධුරය දරමින් සිටියදීයි මාව ඉතා අසාධාරණ විදියට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉවත් කළේ.
මේ වන විට එතුමාට විරුද්ධව අධිකරණයේ පැවරූ නඩුවට අදාළ තීන්දුවෙන් මා ඉවත් කිරීම වැරදි බව පැහැදිලිව සඳහන් වෙනවා. ඒ හැරෙන්නට ඉතා මෑතකදී ලැබුණු නඩු තීන්දුවෙන් කියවුණේත් මට නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීමට කිසිම බාධාවක් නැති බවයි. ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක මහත්වරුන් පත්වුණු විදිය සම්පූර්ණයෙන් වැරදියි. එසේම, ඒ අය ගත් තීන්දු බලශුන්‍ය බවත් අදාළ නඩු තීන්දුවේ කියවෙනවා. අපි එය අඩුම තරමේ අගමැති ධුරයට, ජනාධිපති ධුරයට තරග කරන්න පුළුවන් පක්ෂයක් බවට පත් කළ යුතුයි. පාක්ෂිකයන් පක්ෂය වටා එකතු වෙන්නේ අපි දැක්මක් ඇතිව කටයුතු කළොත් විතරයි. මම ඒ වෙනුවෙන් ඇපකැප වී සිටිනවා.”
අපි වෙනතකට හැරෙමු. ආණ්ඩුවේ වැඩපිළිවෙළ හි පැසසුමට ලක්වී තිබෙනවා නේද?
“හැබැයි මේ IMF එකට විරෝධය දැක්වූ ආණ්ඩුවක්. ඉතා පැහැදිලිවම එහි යෝජනා තරයේ ප්‍රතික්ෂේප කරමින් කටයුතු කළේ. බලයට එන්න කලින් කිවුවේ අනිවාර්යයෙන් IMF යෝජනා වෙනස් කරනවා කියලයි. අලුත් යෝජනාවලියක් ඉදිරිපත් කරන බවයි. ඒත් දැන් වෙලා තියෙන්නේ IMF යෝජනා IMF එකටත් වඩා පිළිගනිමින් වැඩ කරන එකයි. ගිය සතියේ භාණ්ඩ හැට ගණනකට පැනවූ ටැක්ස් එකෙන් පස්සේ රුපියල් එකසිය පනහක සිට තුන්සියය දක්වා බඩු මිලත් වැඩි වෙනවා. මේ රටේ මිනිස්සුන්ගෙන් බදු එකතු කර ගන්නා තුරු ආණ්ඩුවට නින්ද යන්නේ නැහැනේ. ආදායම පෙන්වන්නේ එහෙමනේ.
ඒත් අපි බදු ගැහැව්වාම ආණ්ඩුව කරන කට්ටිය කිවුවේ අපි ජනතාව සූරාකනවා කියලයි. දැන් ආණ්ඩුව මුළුමනින්ම ග්‍රහණයේ පසුවෙන්නේ. ඉතින් IMF එකෙන් පැසසුම් ලැබෙන එකේ අරුමයක් නැහැ. ජනතාවගේ බොටුව හිර කරන්නයි එයාලා කියන්නේ. ජනතාවට සහන දෙන තැනක නෑ. සාමාන්‍ය මිනිස්සු තමයි එයින් පීඩා විඳින්නේ. හැබැයි, ආණ්ඩුව IMF එකත් එක්ක ආණ්ඩුව ගෙවන මධුසමය කොයිවෙලේ හමාර වෙයි ද කියන්නත් බැහැ.”
ඒත් සූර්ය බලශක්තිය කෙරෙහි ආණ්ඩුව විශ්වාසයක් තබා තිබෙනවා?
ආණ්ඩුව කියන්නේ 2030 වන විට සූර්ය බලශක්තිය භාවිතය හුඟක් වැඩි කරනවා කියලයි. හැබැයි ඒකකයකට රුපියල් 37ක් ගෙවූ සූර්ය විදුලි ඒකකයේ මිල මෙයාලා 15ට බැස්සුවා. ඉතින් පාඩු නිසා කවුරුත් ඊට ආයෝජනය කරන්නේ නැහැ. ඒත් ඩීසල් බලාගාරවලින් විදුලි ඒකකයක් රුපියල් 85ට ගන්නේ. අපි යම් විදියට සූර්ය බලශක්ති ඒකකයකට ගෙවන මිල රුපියල් 25ටවත් ගෙනාවොත් ආයෝජකයන් එයි. දැනටත් මෙරට වහල මත සූර්ය පැනල සවිකළ එක්ලක්ෂ පනස් දහසක් දෙනෙක් සිටිනවා. පවුල් හැටපන් ලක්ෂයක් පමණ මෙරට ඉන්නවා. ඒ අනුව සූර්ය පැනල මඟින් විශාල දායකත්වයක් ලැබිය හැකියි. ඒත් එතැනට නොයා වෙනම වැඩක්නේ මේ කරන්නේ.”
අපි දැන් වෙනතකට හැරෙමු.
සජබ – යූඑන්පී හවුල බකල් වෙලා වගේ නේද?
“ඒක දක්ෂිණාංශික පක්ෂ දෙකක්නේ. එකක් විදියට තිබුණත් අද දෙකට බෙදී තිබෙනවා. නැවත එකක් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. ඒත් යම් සන්ධානගතවීමක් වෙතැයි අපේක්ෂා කරනවා. එයින් දකුණේ දේශපාලනයට විශාල බලපෑමක් වෙතැයි විශ්වාස කරනවා. රනිල් වික්‍රමසිංහ – සජිත් ප්‍රේමදාස මහත්වරුන් මුලින් එකඟතාවකට පැමිණිය යුතුයි. එවිටයි වැඩක් වෙන්නේ.”
ඔබට හිටපු ක්‍රීඩා ඇමැතිවරයෙක් විදියට ක්‍රීඩාවේ මතු දවස ගැනත් අදහසක් ඇති?
“ක්‍රීඩා අමාත්‍යාංශයේ වෙමින් තිබෙන දේවල් ගැන කනගාටුදායකයි. ක්‍රීඩාව ගැන කිසිම දැනුමක් නැති අයටයි ඒක බාර දී තිබෙන්නේ. අනෙක, එහි නිලධාරීන් ක්‍රීඩා සංගම් එක්ක සහසම්බන්ධයි. හැබැයි මගේ කාලයේදී මම ක්‍රීඩා සංගම් හැත්තෑ හයටම ඕනෑම වේලාවක මා හමුවීමට ඉඩ හැරියා. ඒ අනුව ඕනෑම ගැටලුවක් සාකච්ඡාවෙන් කල් නොයවා විසඳන්නත් හැකිවුණා. නිලධාරීන්ගේ තීන්දුවලට මම ‘හා’ කියලා නිකං හිටියේ නැහැ. පෞද්ගලිකවත් ඒ ගැන සොයා බැලුවා.
අනෙක, ක්‍රීඩා ව්‍යවස්ථාවට උඩින් කිසියම් සංගමයක ව්‍යවස්ථාව තියෙන්න බැහැ. ඒත් අද එහෙම වෙලානේ. නෙට්බෝල්, කරාතේ ආදී ක්‍රීඩා, අමාත්‍යාංශයේ නොසැලකිලිමත්භාවය හා තීන්දු ගැනීමේ පමාව නිසා අද අධිකරණයෙන් සාධාරණයක් අපේක්ෂා කරන තැනටත් ගිහින්. හැබැයි අපි අමාත්‍යාංශ මට්ටමෙන් ඒ ගැටලු විසඳා දුන්නා.
මේ හැර විදෙස් ක්‍රීඩා තරගවලට යෑමට අඩු ඉඩක් දැන් දෙන්නේ. ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවීමට අපි නම් කලින් මුදල් වෙන් කර ගත්තා. එයින් ගුවන් ටිකට්පත් වෙන් කිරීම් ආදී ගැටලු ඇති වුණේ නැහැ. ඇතැම් විට අපිම නවාතැන්පොළත් සොයා දුන්නා.
ඉකුත් කාලයේදී විදෙස් සංචාර ගණනාවකට මෙරට ක්‍රීඩකයන් සහභාගි වුණේ නැහැ. ඇමැතිවරයාගෙන් පැරා ඔලිම්පික් කණ්ඩායම පිටරට නොයැවීමට හේතු විමසූ විටදී ඔහු කිවුවේ ඊට වියදම අධික බවයි. ඒත් ඊට හේතුව ආබාධ සහිත තැනැත්තන්ට සාමාන්‍ය අයට වඩා විශේෂ පහසුකම් ගණනාවක් අවශ්‍ය වීමයි. ඒ වැරදි අවබෝධය නිවැරදි කළ විටදී පසුව ඒ කණ්ඩායමට විදෙස්ගත වීමට ඉඩ දී තිබුණා. ඔය වගේ ගැටලු රැසක් එතැන තියෙනවා. ඒත් හිටපු ඇමැතිවරයෙක් විදියට මම ඕවා ඊර්ෂ්‍යාවට කියනවා කියලා හිතනවා ඇතිනේ. හැබැයි මේ ගැනත් මම බලන් හිටියා ඇති. මෙහෙම ගියොත් වැඩි කලක් යන්න කලින් ක්‍රීඩා අමාත්‍යාංශය නැතිභංග වෙනවා. ඉතින් මම ඒ වැරදි ගැනත් ඉදිරියේදී තවදුරටත් කතා කරනවා.”
මිනිස්සුන්ට සංස්කෘතික ජීවිතයක් හිමි විය යුතු බව ආණ්ඩුව කියනවා. ඒ වෙනුවෙන් වැඩපිළිවෙළකුත් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ ගැනත් යහපත් අදහසක් නැතිද?
“මූලික වශයෙන් රටක් විදියට අපි සතුටින් ඉන්න නම් ආර්ථික ශක්තියක් තියෙන්නම ඕනි. නාට්‍යයක් නැරඹීමටත්, චිත්‍රපටයක් බැලීමටත්, සංගීතය රසවිඳීමටත් මිනිහකුගේ ආර්ථිකය යහපත් වෙන්න ඕනෑමයි. ආර්ථිකය වැටුණු මිනිහෙක් කවදාවත් අනෙත් අතට කලාවෙන්, සංස්කෘතියෙන් සෑහීමකට පත් වෙන්නේ නැහැනේ. ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. දෙවනුව කලා, සංස්කෘතික දක්ෂතා ඇත්තන් රැසක් මෙරට සිටිනවා. ඒ අයට අත දීමට නිසි වැඩපිළිවෙළක් තවම නැහැ. ඒ හැරෙන්නට පුරාවිද්‍යාව ආණ්ඩුව යටතේ පල්ලම් බැහැගෙන යන්නේ. ඇතැම් පුරාවිද්‍යා නටබුන් නීතිවිරෝධිව ගලවාගෙන අරන් යනවා. මාතලේ සෙල්ලිපියක් අරන් ගිහින් මහනුවර දිසාපති කාර්යාලයේ සවි කරන්න හැදුවා. ඒවා අදාළ පුද්ගලයන් හිරේ යන තරමේ වැරදි. මෙරට සංස්කෘතියත් අද සෝදාපාළුවට යමින් තියෙන්නේ. පුරාවිද්‍යා ස්ථානවලටත් අත් වී ඇති ඉරණම එයමයි. කුරුණෑගල, අනුරාධපුරය, වවුනියාව, මන්නාරම ආදී දිස්ත්‍රික්කයන්හි මෙරට වැඩිපුරම පුරාවිද්‍යා ස්ථාන පිහිටා තිබෙන්නේ. දෙමළ අන්තවාදීන්ගේ විනාශ කිරීම් හැරෙන්නට ආණ්ඩුවත් ඒවා විනාශ කිරීම අතින් විශාල කාර්යභාරයක් කරන බවයි අපිට දකින්න තිබෙන්නේ.”
අපි අවසාන වශයෙන් ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තියේ දියුණු තියුණුභාවය ගැන කියමු ද?
“හැබැයි මට නම් ඒ ගැන වැටහෙන්නේම නැහැනේ. ආණ්ඩුවේ විදේශ ප්රතිපත්තියත් ආණ්ඩුව වගේමයි. කිසිම ප්‍රතිපත්තියක් නැති එකමයි ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. හැබැයි, අපි නොබැඳි පිළිවෙතක් අනුගමනය කළ රටක්. ඒ වෙනුවට අද ආණ්ඩුව විශාල ඝට්ටන අපට සමීප රටවල් එක්ක ඇති කරගෙන ඉන්නේ. ඉන්දියාවත් චීනයත් අපට වැඩිපුර උදවු කරන්න එද්දී ඒ දෙපිරිස විරසක කර නොගෙන ඉන්න බලනවා. අනෙත් පැත්තෙන් අමෙරිකාව ආදීන් සිටිනවා. ඒ ඒ වෙලාවට ඒ ඒ රටවල් ෂෙඩුල් කරන්න හදන වැඩපිළිවෙළක් විතරයි ආණ්ඩුවේ තිබෙන්නේ.








