T-20 ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව කොදෙව්වන්ගෙන්

පන්දුවාර විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (24) සමත් වුණා.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මුම්බායි වන්කඩේ ක්‍රිඩාංගනයේ පැවති මෙම තරගයේදී කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු‍ 6ක් දැවී ලකුණු 254ක් රැස් කළා.

පන්දුවාර විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව ශ්‍රී ලංකාව 2007 වසරේ දී පිහිටවනු ලැබුවේ කෙන්යාවට එරෙහිවයි.

එහිදී ශ්‍රී ලංකාව ලකුණු 260ක් රැස්කළා.

කොදෙව්වන් ඊයේ තරගය අවසන් කළේ වසර 19ක් පැරණි මෙම වාර්තාවකට ලකුණු 6ක් පිටුපසින් සිටිමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායමේ මෙම වාර්තාගත ඉනිමට ශිම්‍රොන් හෙට්මයර් පන්දු 34කින් ලකුණු 85ක් ද රොව්මන් පවල් පන්දු 35 කින් ලකුණු 59ක්ද රැස් කළා.

කොදෙව් ඉනිමට හයේ පහර 19ක් සහ හතරේ පහර 16ක් ඇතුළත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 107ක දැවැන්ත ජයක් හිමි වුණා.

මේ තරගයේදි කඩුල්ලක් දවාගත් සිම්බාබ්වේ කණ්ඩායමේ බ්‍රැඩ් එවන්ස් තවත් වාර්තාවකට හිමිකම් කියනු ලැබුවා.

ඒ අඛණ්ඩව පන්දුවාර විස්ස ඉනිම 28කදී අවම එක් කඩුල්ල බැගින් දවාගනිමින්.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ අයර්ලන්ත ක්‍රීඩක මාර්ක් ඇඩියර් පමණයි.