උපාලි කරුණාරත්න, හැටන් මධ්‍යම විශේෂ, නෝර්ඩුඩ් සමූහ, බදුල්ල සමූහ, සීගිරිය විශේෂ, මඩකලපුව සමූහ, කටුගස්තොට සමූහ, බණ්ඩාරවෙල සමූහ, ඇලහැර-සරත් වෙලගෙදර, මධ්‍යම පළාත් සමූහ, මහනුවර සමූහ, කඩුගන්නාව සමූහ, සොරණාතොට සමූහ, ත්‍රිකුණාමලය මධ්‍යම සමූහ
දින කිහිපයක් පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල, බදුල්ල, මධ්‍යම කඳුකරය, මඩකලපුව, නුවර, ගැටඹේ, බණ්ඩාරවෙල, පොලොන්නරුව, රත්නපුර, මොනරාගල, නුවරඑළිය ඇතුළු ප්‍රදේශ රැසක් බලපෑමට ලක්ව තිබේ.
පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් නායයෑම් ඇති විය හැකි බැවින් අද (23) පෙරවරුව දක්වා වලංගු වන පරිදි මහනුවර, කෑගල්ල, මාතලේ, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, අරණායක, ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළේ, උකුවෙල, විල්ගමුව, රත්තොට, රත්නපුර එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වේ. එමෙන්ම බදුල්ල, ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මොනරාගල, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා නායයෑම් පිළිබඳව අවධානය යොමු කිරීමේ සහ විමසිලිමත්වීමේ දෙවැනි අදියරේ සහ පළමු අදියරේ අනතුරු ඇඟවීම් සිදු කර ඇත.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකියක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව හෙට (24) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යා කසුන් පැස්කුවල් මහතා පැවසීය.
අද (23) දිනයේ උතුරු, උතුරු මැද, වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ.
කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකිය. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මේ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකියේ සඳහන් වේ.
එමෙන්ම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයේ බලපෑම පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් සිටිය යුතු බවත්, ඒ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පෙරේදා (21) දිනයේ අධික වර්ෂාවක් ලැබී ඇති බවත්, ඒ අනුව නුවර මුරුතලාවට මි. මී. 240ක් ද, පලාබද්දලට මි.මී 190ක පමණ වර්ෂාපතනයක් ද ලැබී ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.
උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළේ, දොළුව, යටිනුවර, කෑගල්ල අනතුරුදායක ස්ථානවලින් ජනතාව ඉවත්කිරීමේ කටයුතු සිදු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. බඹරබැද්ද ප්‍රදේශයෙන් පවුල් 40ක් පමණ තාවකාලිකව ඉවත්කළ බවත්, කෝවිල් කන්දෙන් පවුල් දෙකක් ද, කළුගල්තැන්නෙන් පවුල් පහක් ද, කොස්පැලහින්න පවුල් හයක් ද, බඹරකොටුව පවුල් දහඅටක් ද, බටේවෙල පවුල් පහක් ද, උතුරු ගිලීමලේ පවුලක් ද, නගර උතුර පවුල් හයක් ද ඉවත් කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ සියලු පවුල් සඳහා සහන සේවා වැඩසටහන් ක්‍රියාත්මක වන බවත්, ඇතැම් පවුල් ඥාති නිවාසවල සිටින බවත් ඔහු පැවසීය. ගල්පෙරළීම් නිසා ඇතැම් මාර්ග වසා දමා ඇති අතර, සුංගාවිල මාර්ගය ජල ගැලීම් හේතුවෙන් වසා දමා තිබිණි. ඕනෑම ආපදා අවස්ථාවකදී 117 දුරකතනයට අමතන ලෙස ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. පැවති අධික වර්ෂා තත්ත්වය නිසා ගල්පෙරළීම් හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල මාර්ග අවහිරවීම්, අතුරු මාර්ග අවහිරවීම් මෙන්ම හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කළුපහන ප්‍රදේශයේ නිවෙසකට ගල් පෙරළීමෙන් හානි සිදුවීම වාර්තා විය. තද වැසි සහිත තත්ත්වයක් ඇතිවුවහොත් පහළ කඩුගන්නාවේ සිට මාවනැල්ල දක්වා මාර්ගය භාවිත කිරීමේදී විමසිලිමත්වන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දන්වා සිටී. මහවැලි ගඟ ද්‍රෝණියේ කින්නියා, මුතූර්, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආසන්නයේ පහත්බිම්වලට අද (23) මධ්‍යම රාත්‍රීය දක්වා වලංගු වන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සුළු ගංවතුර අනතුරු ඇඟවීම් සිදු කර තිබේ. මඩකලපුව – පොලොන්නරු මාර්ගය, ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ද, සෝමාවතී රාජමහා විහාර පිවිසුම් මාර්ගය, රාජමහා විහාරය අවට ප්‍රදේශය ද සුළු ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
මිල්ලකන්ද ප්‍රදේශයෙන් කළු ගඟේ ජල මට්ටම ද ඊයේ (22) දහවල් වන විට අනතුරුදායක මට්ටමක පැවතිණි. ජලාශ ගණනාවක් වාන් දමමින් පැවතිණි. කණ්ඩලම ජලාශය වාන් දැමීම නිසා දඹුල්ල වෑවල ප්‍රධාන මාර්ගය හරහා වාහන ගමනාගමනයට බාධා එල්ල වූ අතර, විදේශීය සංචාරකයන් රැගත් බස් රථ හා තවත් වාහන රැසක් වාන් ජලය මතින් ගමන් කරන අයුරු දැක ගත හැකි විය. 21 වැනි දින රාත්‍රී කාලයේ කටුගස්තොට ගැටඹේ මාර්ගයේ ගන්නෝරුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට පස් කඳු හා ගල් පෙරළීම නිසා කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් අතර, පවතින අවදානම නොතකා 22 වැනි දින එම මාර්ගය හරහා වාහන විශාල ප්‍රමාණයක් ධාවනය කරන අයුරු දැක ගත හැකි විය.
ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.








