ගලේවෙල සහ මහවෙල නව තැපැල් කාර්යාල ජනතා අයිතියට

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 14.70 සහ රුපියල් මිලියන 14.41 බැගින් වූ මුල්‍ය ප්‍රතිපාදන මත අභිනවයෙන් ඉදිකළ ගලේවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ මහවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

මීට අමතරව රුපියල් මිලියන 5.1 මුල්‍ය ප්‍රතිපාදන මත ප්‍රතිසංස්කරණය කරන ලද මඩවල උල්පත තැපැල් කාර්යාලය ද අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පත් කෙරිණි.

2025 වසරේ සැප්තැම්බර් මස 04 දින  ගලේවෙල නව තැපැල් කාර්යාලයේ ඉදිකිරිම් ආරම්භ කරන ලද අතර මාස 05 ක් වැනි කෙටි කාලයක් තුළ එහි ඉදිකරීමි අවසන් කිරීමට පියවර  ගෙන ඇත. එමෙන්ම 2025 වසරේ සැප්තැම්බර් මස 07 දින ඉදිකිරිම් ආරම්භ කරන ලද මහවෙල තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ද ඉදිකිරිම් කටයුතු මාස 05 ක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කිරීමට පියවර  ගෙන ඇත.

වසර 100 කට එහා ගිය අතීතයකට හිමිකම් කියන දෙවන  ශ්‍රේණියට  අයත් මහවෙල පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වෙනුවට මෙම නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර, නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ඉඩම පරිත්‍යාග කරන ලද ඇට්නස් ගුණසිංහ මහත්මියට සමරු සිහිවටනයක් ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයා අතින් සිදුවිය.

ඉහත විවෘත කිරීමේ උත්සව අවස්ථාවන් සඳහා එක් වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ ගලේවල තැපැල් කාර්යාලය වසර 50 ක් පමණ පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය බවත්, නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමත් සමග   ප්‍රදේශයේ ජනතාවට මෙමගින් සේවා ලබාගැනීමට හැකියාව ලැබෙන බවයි.

2025 වසරේ ආරම්භ කළ තැපැල් කාර්යාල කිහිපයක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව ද පැවසු අමාත්‍යවරයා අද වන විට රට හැදෙන බවත්, රට හදන්න හැකි බවත්, මීට පෙර පැවතියේ රට හදන්න බැරි බවට මතයක් බව ද අමාත්‍යවරයා පැවසීය.

ජනතාවට ආකර්ෂණීය සහ කඩිනම් සේවාවක් ලබාදීම අරමුණින් තැපෑලේ භෞතික සම්පත් සංවර්ධනයට  අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ද ලබාදෙමින් සේවා ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.

පසුගිය වසරේ රුපියල් මිලියන 2000 ක් පමණ තැපැල් දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් වෙන් කරමින් රුපියල් මිලියන 13,450 ක ආදායමක් උත්පාදනය කළ හැකි වූ බවත් ඒ අනුව මෙි වසරේ රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉළක්ක පහසුවෙන් සපුරා ගත හැකිවනු ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

තැපැල් සේවාව නව්‍යකරණයට සහ සංවර්ධනයට පියවර ගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුව සඳහා CCTV 209 ක් මිලදී ගැනීම සඳහා මිලියන 27 ක්,  Desktop පරිගණක 225 ක් සඳහා මිලියන 74 ක් ද, ටැබ් පරිගණක 1500 ක් සඳහා මිලියන 101 ද වෙන් කර ඇත. මඩකලපුව, පොළොන්නරුව, මධ්‍යම තැපැල් හුවමාරුව, තැපැල් මූලස්ථානය යන ගොඩනැගිලි වල රුපියල් මිලියන 24 ක් වැය කොට නව සූර්ය බලශක්ති උත්පාදන පද්ධති සකස් කිරීමට කටයුතු කර ඇති අතර පොළොන්නරුව තැපැල් සංකීර්ණයේ එම කටයුතු අවසන් කර ඇති අතර රුපියල් මිලියන 31 ක් වියදම් කොට තැපැල් කාර්යාල සඳහා සවිකිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර 657 ක් මිලදී ගැනීමට ද තැපැල් දොපාර්තමේන්තුව කටයුතු කර ඇත.

නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්ම සාක්ෂාත් කිරීම සඳහා වත්මන් රජය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මඟපෙන්වීම සහ උපදෙස් මත සැළසුම් සහගතව කටයුතු කරනු කරනු ලබයි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව,නියෝජ්‍ය තැපැල්පති (මධ්‍යම පළාත) එම්.එච්.එම් අස්ලම් මහතා,  ගලේවෙල ප්‍රාදේශීය  සභාවේ සභාපති යු.ජී ඉන්දික කරුණාරත්න, මහවෙල යටවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති යු.ජී ගාමිණී ෆොන්සේකා, ගලේවෙල ප්‍රාදේශිය ලේකම් ප්‍රාදේශීය ලේකම් ඊ.එම්.චන්ද්‍රකාන්ති ඒකනායක, මාතලේ සහකාර තැපැල් අධිකාරී ඇස්.එස්.බී කපුපිටිය, ගලේවෙල තැපැල් ස්ථානාධිපති දම්මි ඉසංකා කුමාරි,  මහවෙල තැපැල් ස්ථානාධිපති ආර්.එමි නිල්මිණී රණතුංග, මඩවල උල්පත තැපැල් කාර්යාලයේ ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිනි දර්ශනී දසනායක යන මහත්ම මහත්මීන් මෙන්ම ප්‍රාදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ගලේවෙල තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.