චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහි නඩුවක් පෙබරවාරි 10 කැඳවීමට නියෝග

ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍යවරියක් වශයෙන් කටයුතු කළ අවධියේ සිදු කරන ලද ක්‍රියාවකින් රජයට පාඩු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුව ලබන 10 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නඩුවට අදාළ චෝදනා සංශෝධනය කිරීම සඳහා අල්ලස් කොමිසම මීට පෙර අවසර ඉල්ලා තිබුණා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව සඳහා තම කනිෂ්ඨ නීතිඥවරයා පෙනී සිටි අවස්ථාවක අල්ලස් කොමිසම මෙම චෝදනා සංශෝධනය කිරීම සඳහා අවසර ඉල්ලා තිබෙන බවත්, එය සාමාන්‍ය සම්ප්‍රදාය නොවන බවත් පවසා සිටියා.

කෙසේ වෙතත්, අදාළ චෝදනා සංශෝධනය කිරීමට අවසර දෙන්නේ ද යන කාරණය පිළිබඳව නියෝගය ලබන 10 වැනිදා ප්‍රකාශ කරන බවයි විනිසුරුවරයා නියම කළේ.

2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නමැත්තකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානුකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළුව නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනු කර තිබෙනවා.