ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් 2025 වසරේදී රුපියල් කෝටි 100ට වැඩි ප්රතිලාභ ලබාදී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.
2025 වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා විගමනික ශ්‍රමිකයන් 326,246 දෙනකු වෙනුවෙන් රුපියල් මිලියන 964.30ක ආධාර කාර්යාංශය මඟින් ලබාදී තිබේ. රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයන් වෙනුවෙන් කාර්යාංශය මඟින් නොමිලේ රක්ෂණාවරණයක් ලබාදෙන බව ද එම රක්ෂණාවරණය ලබාගැනීම සඳහා ශ්‍රමිකයන් 318,209 දෙනකු වෙනුවෙන් රුපියල් මිලියන 397ක මුදලක් 2025 වර්ෂයේදී කාර්යාංශය විසින් ගෙවා තිබෙන බව ද එම කාර්යාංශය පෙන්වා දෙයි.
එසේම විදේශගත ශ්‍රමිකයන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් 1,628 දෙනකු වෙනුවෙන් රුපියල් මිලියන 50.88ක මුදලක් ශිෂ්‍යාධාර වශයෙන් ගෙවා තිබේ. තවත් දරුවන් 4,304 දෙනකු වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීම සඳහා රුපියල් මිලියන 50.25ක මුදලක් කාර්යාංශය මඟින් වැයකර ඇත.
මීට අමතරව විදේශ රැකියාව අතරතුරදී සිදු වන මරණ හා රෝගාබාධ වෙනුවෙන් ද, විදේශ රැකියාව අවසන් කර යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට ද, පවුල්වල සාමාජිකයන්ට සෞඛ්‍යාධාර සඳහා ද, බහුවිධ ණය යෝජනා ක්‍රමයට හා සේවක සුභසාධක අරමුදල මඟින් ගෙවීම් කිරීම වැනි සුභසාධන කටයුතු සඳහා ද කාර්යාංශය මඟින් පසුගිය වර්ෂයේදී මුදල් වැයකර තිබේ.
ඊට අමතරව විදේශ රැකියා වංචාකරුවන්ට හසුවී කාර්යාංශය වෙත පැමිණිලි කරන ලද පුද්ගලයන් වෙනුවෙන් නඩු පවරා රුපියල් මිලියන 374කට අධික මුදලක් යළි අය කරදීමට ද කාර්යාංශය පියවර ගෙන ඇත. විදේශ රැකියා ක්ෂේත්රය සම්බන්ධව මහජනතාවට අවශ්‍ය තොරතුරු දැනගැනීම වෙනුවෙන් ස්ථාපිත කර ඇති කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්‍යස්ථානය නව පහසුකම්වලින් සමන්විත අයුරින් නවීකරණය කිරීමට ද කාර්යාංශය පියවර ගෙන තිබේ. එමඟින් වඩාත් කාර්යක්ෂම හා විශ්වාසදායි සේවාවක් මහජනතාවට ලබාදීමට හැකි වී ඇත.
මේ අතර, වසර 40ක විදේශ රැකියා ඉතිහාසය තුළ වැඩිම විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ දී මෙරටට ලැබිණි. එම ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 8.07කි. එය රුපියල් බිලියන 2,432ක අගයක් වන අතර 2024 වර්ෂය හා සැසඳීමේදී මෙය 22.8%ක ඉහළ වර්ධනයකි.
වත්මන් රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් අනුව ගුණාත්මක තත්වයෙන් යුතු පුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීමට කාර්යාංශය පියවර රැසක් ගන්නා ලදී. ඒ අනුව පසුගිය වසරේ දී 311,139ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැකියා සඳහා විදේශගත වී තිබේ.
මහින්ද අලුත්ගෙදර








