විමල් වීරවංශට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබුණු හිටපු අමාත්‍ය විමල් වීරවංශ සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව, එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

රුපියල් මිලියන 75 කට අධික වත්කම් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටි බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් වරෙන්තු නිකුත් කළ අතර, ඉන් පසුව විමල් වීරවංශ සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වී තිබුණා.