වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි අවදියේ සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව මාර්තු මස 04 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව, මෙම නඩුව අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී නොසිටි බවයි සඳහන් වන්නේ.
ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ එම විත්තිකරුවන් දෙදෙනා වැලිසර මහේස්ත්‍රත් අධිකරණය මඟින් වෙනත් නඩුවක් සඳහා රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන බවයි.
ඒ අනුව, මෙම නඩුව මාර්තු 04 වැනිදා සහ 18 වැනිදා විභාගය සඳහා යළි කැඳවන ලෙසත්, එදින සාක්ෂිකරුට පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
එදින විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයේ සිටියේ නම්, අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කර තිබෙනවා.








