කථානායකවරයා පැවසූ බවට ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන දැනුම්දීමක්

“පාර්ලිමේන්තු පරිශ්‍රයේ මත්ද්‍රව්‍ය, මත්පැන් සහ සිගරට් පාවිච්චි කරන සේවකයන් පිරිසක් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තීරණය කර ඇත” යන මැයෙන් ඇතැම් මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති අසත්‍යයක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය පවසනවා.

අදාළ අසත්‍ය පුවත කිසිදු පදනමකින් තොරව පළ කර ඇති බවට කථානායකවරයා විසින් දැනුම් දී ඇති බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එවැනි සේවක පිරිස් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස කථානායකවරයා කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කිසිදු නිලධාරියෙකුට උපදෙසක් ලබා දී නොමැති බව ද එමඟින් දක්වා තිබෙනවා.

තවද, භෝජනාගාර අංශය ඇතුළු ඇතැම් සේවකයන් හොර රහසේ මත්පැන්, මත්ද්‍රව්‍ය සහ සිගරට් පාවිච්චි කරන බවට තොරතුරු ලැබීමෙන් පසු, කථානායකවරයා මෙම උපදෙස් ලබා දී ඇති බවට ප්‍රචාරය වන පුවත ද අසත්‍ය බවත්, මෙවැනි තත්ත්වයන් වර්ධනය වීමට ඉඩදීම සම්බන්ධයෙන් කථානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානීන්ට දෝෂාරෝපණය කර ඇතැයි පළ වන වාර්තාවල ද කිසිදු සත්‍යතාවක් හා පදනමක් නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.