පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහර දීමට පැමිණි පුද්ගලයෙක් පොලිස් වෙඩි පහරින් මරුට

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහර දීමට පැමිණි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ (12) සවස වැලිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකු සමඟ ධාවනය වූ යතුරුපැදියක් නැවැත්වීමට රථවාහන පොලීසිය විසින් නියෝග කර ඇති අතර, එහිදී අදාළ යතුරුපැදිය අණ නොතකා ධාවනය කර තිබෙනවා.

පසුව අදාළ පුද්ගලයින් නිවසට ගොස් සැඟවී ඇති අතර, සැඟවී සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යෑමේදී එම පුද්ගලයා මන්නයකින් පොලිස් නිලධාරීන්ට පහර දීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ දී පොලීසිය වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයට සහ පපුවට තුවාල සිදුව ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියේ ගමන් ගත් සෙසු පුද්ගලයින් දෙදෙනා සොයා පොලිස් විමර්ශන සිදු කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.