හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිටකොන්දේ සැත්කමකට ලක්වීම නිසා නඩු විභාගයකට මුහුණදීමට තරම් ප්‍රමාණවත් සෞඛ්‍ය තත්ත්වයෙන් නොමැති බවට ඔහුගේ නීතිඥවරු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් කොළඹ මහාධිකරණයට ඊයේ (12) දැනුම් දුන්හ. ඒ අනුව නඩුව පෙබරවාරි 13දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නියෝග කළේය. පරිසර ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ලෙස සේවය කළ තැනැත්තන් බව දක්වා බාහිර පුද්ගලයන්ට වැටුප් හා දීමනා ගෙවන බව දක්වමින් එම මුදල් සිය බැංකු ගිණුම්වලට බැර කරගැනීමේ චෝදනාව යටතේ කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ඔහුගේ පවුලේ උදවියට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.
හිටපු ඇමැතිවරයාට අමතරව ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, වැඩිමහල් දියණිය අමාලි රඹුක්වැල්ල හා සේවිකාවක වන නිපුණී ක්‍රිෂ්ණජිනා නමැති තැනැත්තියට විරුද්ධව මෙම නඩුව අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් පවරා ඇත. පැමිණිල්ලේ 2, 3, 4 සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සහ නඩු භාණ්ඩ ලෙස නම්කර ඇති රස පරීක්ෂක වාර්තා සහ ජංගම දුරකතන වාර්තා ඉදිරි නඩු දින විත්තියට භාර දෙන ලෙස මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ලට නියෝග කළේය. විත්තිකරුවන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇති අතර ඔවුන්ට ආගමන විගමනට තහනමක් පනවා ඇත. කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට විරුද්ධව පවරා ඇති බාල බෙහෙත් නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ දිනපතා විභාග වේ. එම නඩුව ඊයේ (12) විභාගයට ගත් අවස්ථාවේ ඔහු අධිකරණයේ පෙනී නොසිටියේය. විත්තිකරු නොමැතිව නීතිඥයන් මාර්ගයෙන් නඩුව පවත්වා ගෙන යාමට සියලු පාර්ශ්ව එකඟවීම නිසා සාක්ෂි විමසීම සිදුවිය. හිටපු ඇමැතිවරයා රෝද පුටුවක ආධාරයෙන් පසුගිය සතියේ මෙම නඩුවට ඉදිරිපත් කෙරිණි.
චන්දන ජයවීර








