පසුගිය මාසයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම සත්ත්ව ගොවිපොළක තිබී මුද්‍රා තබන ලද මස් කි.ග්රෑ. 12,000 ක ප්‍රමාණය පරිභෝජනයට සුදුසු බවට වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදු කළ පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.
අදාළ සත්ත්ව ගොවිපොලේ, ගංවතුර හා විදුලිය ඇණහිටීම නිසා මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි මස් කි.ග්රෑ. 12,000 ක ප්‍රමාණයක් පසුගිය දෙසැම්බර් 07 වන දා මුද්‍රා තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුණා.
ඒ අනුව එහි සාම්පල ප්‍රමාණයක් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කිරීමෙන් පසු සිදු කරන ලද පරීක්ෂණයේ වාර්තාව පසුගිය දා නිකුත් කර තිබෙනවා.
තඹුත්තේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සිදු කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ අදාළ මාංශ තොගයේ ගැටලුවක් නොමැති බවත් මිනිස් පරිභෝජනයට සුදුසු තත්ත්වයේ ඒවා පැවතී ඇති බවයි.








