දිට්වා සුළි කුණාටුව අත්දැකීමක් කරගෙන අපේ රටේ ආපදා ක්‍රමවේදය වෙනස් කරමින් අවතැන් වූ ජනතාවට මුදල් වෙන් කිරීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) ප්‍රකාශ කළේය.
සිකුරාදා අය වැය අනුමත කර ගන්න පෙර වත්මන් අය වැය ආපදාවෙන් පසු රටේ තත්ත්වයට සුදුසුද කියා සොයා බැලිය යුතු වෙනවා. මේ අවස්ථාවේ කළ යුත්තේ අවතැන් වූ ලක්ෂ 15කට වැඩි ප්‍රමාණය ගැන සංවේදී වී තව දින ලබා ගෙන නව අය වැයක් කෙටිකාලීනව සකස් කර විපතට පත් ජනතාවට සහන සලසන ආපදාවට ලක්වූ ප්‍රදේශ ගොඩනඟන අය – වැයක් සකස් කිරීමයි. තවදුරටත් විහිළු නොකර මේ මහා විපතින් හානි වූ ජනතාවට සහන සලසන අය වැයක් කඩිනමින් සකස් කළ යුතු වෙනවා. දින කිහිපයක් ගෙන නව අයවැයක් සකස් කළ යුතු වෙනවා. එසේම ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවා විපතට පත් ජනතාවට සහන සැලසිය යුතු වෙනවා. රජයට එය කළ නොහැකි නම් විපක්ෂය රජය වෙනුවෙන් එය කැඳවීමට කටයුතු කර රටට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා. ඊට අමතරව නව අයි.එම්.එෆ්. ගිවිසුමක් ඇති කර ගැනීමට සාකච්ඡා කළ යුතු වෙනවා. ජනතා පීඩක ජන හිංසන අයි.එම්.එෆ්. කොන්දේසි සමඟ ඉදිරියට යා නොහැකි නිසා කඩිනමින් අයි.එම්.එෆ්. එකට සාකච්ඡා කළ යුතු වෙනවා. රජයට නොහැකි නම් විපක්ෂය ද ඒ සඳහා සහාය දෙනවා. නව ගිවිසුම හරහා ජනතාවට සවියක් විය හැකියි. මිනිසා ජීවත් කරවන්න මිනිසා රැකගන්න රට සංවර්ධනය කරන්න ආපදාවට පත්වූ ජනතාවට සහන දෙන්න නැති වූ ගොවිබිම් ටික සුරකින්න නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. නිර්දේශපාලනීකරණයට ලක් වූ ජාතික සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා විපක්ෂය ද සහාය ලබා දෙනවා.








