GMOA වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව

සිය ගැටලුවලට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී සිය ගැටලු සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් නොලැබුණු බවය.

ලබන වසරේ අයවැයෙන් වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට පියවර නොගැනීමට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (17) දිනයේ සිට  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.

අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

කඩා වැටී තිබූ ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයට පත්කොට ඇති බවත් එම ස්ථාවරත්වය පවත්වාගෙන යාම රජයේ මූලික අභිප්‍රාය බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සහාය ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කළේය.

කෙසේවෙතත් අදාළ සාකච්ඡාවෙන් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක කමිටු රැස්වීමක් පවත්වා ඇති අතර එහිදී සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය වූ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේය.

මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු සංකිර්ණයේ දී එම සාකච්ඡාව පැවැත්වෙන බවය.