තැපෑලේ නමින් කළ මහාපරිමාණ මූල්‍ය වංචාවක් හෙළිවෙයි

තැපැල් දෙපාර්තමේන්තුවේ නම භාවිත කරගෙන තැපැල් ගනුදෙනුකරුවන්ගෙන් විදේශ මුදල් ඇතුළු මූල්‍ය වංචා සිදුකරන කල්ලියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක සංවිධානයක් විසින් දෙවසරකට අධික කාලයක් තිස්සේ මෙම වංචාව සිදුකර තිබෙන බවයි හෙළිව ඇත්තේ.

මෙම සංවිධානාත්මක කල්ලිය විසින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි‍යක් ද නිර්මාණය කරගෙන ඇති බව හඳුනාගෙන තිබෙනවා.

මෙම වංචාව හරහා අමෙරිකානු ඩොලර්, ඕස්ට්‍රේලියානු ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ස්විස් ෆ්‍රෑන්ක් සහ බ්‍රිතාන්‍ය පවුම් ඇතුළු විදේශ මුදල් ඇතුළත්.

දේශීයව සහ අන්තර්ජාතිකව මාර්ගගත මිලදී ගැනීම්වලදී ක්‍රියාත්මක වන එම වංචනික කණ්ඩායම තවමත් නිශ්චිතවම හඳුනාගෙන නොමැති බවයි තැපැල්පති රුවන් සත්කුමාර ප්‍රකාශ කළේ.

ඒ හේතුවෙන් වංචා කර තිබෙන මුළු විදේශ මුදල් ප්‍රමාණය කොපමණදැයි තීරණය කිරීමට නොහැකි වී ඇති බවයි තැපැල්පතිවරයා පවසන්නේ.

මාර්ගගත පාර්සලයක් ලබා ගැනීම සඳහා බොහෝ විට රු.100ට අඩු මුදලක් ගෙවන ලෙස ඉල්ලා කෙටි පණිවුඩයක් ලැබීම මෙම වංචාව යටතේ සිදුව ඇති බවයි හෙළිව තිබෙන්නේ.

එහිදී ගනුදෙනුකරු බැංකුව හරහා ගෙවීම සිදු කළ පසුව වංචාකරුවන් එම බැංකු ගිණුම්වල තොරතුරු පිටපත් කරගෙන තිබෙනවා.

එම ගනුදෙනු සඳහා ඔවුන් OTP කේත භාවිත කර ඇති බවයි හඳුනාගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විමර්ශන ඒකකය, පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (SART) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.

මෙම වංචාව සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චම්මි විජිතපාල පැවසුවේ.