හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක් අවට සැරිසරන වන අලි හම්බන්තොට යෝජිත අලි කලමනාකරණ රක්ෂිතය වෙත යොමු කිරීමේ මෙහෙයුම අද (06) යළි ආරම්භ කෙරෙනවා.
පෝය දිනය යෙදීම හේතුවෙන් එම වැඩසටහන ඊයේ දිනයට පමණක් තාවකාලිකව නතර කෙරුණා.
පෙරේදා දිනයේ රිදියගම සෆාරි උද්‍යානය අසලින් එම වන අලි මදුනාගල රක්ෂිතය දක්වා පළවා හැරීමට සැලසුම් කර තිබුණත් ඊයේ අළුයම වනවිට එම වන අලි නැවතත් රිදියගම සෆාරී උද්‍යානය අසළටම පැමිණ තිබුණා.
මේ අතර, වන අලින්ගේ ගමන් මාර්ගය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්රොන් කණ්ඩායම විසින් නිරීක්ෂණය කරන අතර, එලෙස පළවා හරින වන අලි නැවත ගම්වැදීම වැළැක්වීම සඳහා පෙරේදා රාත්‍රියේ අවට ගම්වාසීන් අඩි 100 මාර්ගයේ ගිනි ගොඩවල් ගසා රැක සිටියා.
එමෙන්ම, ප්‍රදේශවාසීන් ද සඳහන් කළේ මෙම වැඩසටහනට තම සහය උපරිමයෙන්ම ලබාදෙන බවයි.
මීට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහඉලුක්පල්ලම ප්‍රදේශයේ දෛනිකව ගම්වදින වන අලි රක්ෂිතයට පළවා හැරීමේ මෙහෙයුමක් ද පසුගිය දෙවැනිදා ආරම්භ කෙරුණා.
මහඉලුක්පල්ලම ගම්මානයට යාබදව පිහිටි කැළෑ කොටස තුළ වන අලින් 11 දෙනෙකු පමණ රැඳී සිටින බවට මෙම මෙහෙයුම ආරම්භයේදී තහවුරු කර ගත් අතර, ඉන් වන අලින් 07 දෙනෙකු පමණ රක්ෂිතයට පන්නා දැමීමට වනජීවී නිලධාරීන්ට මේ වනවිට හැකි වී තිබෙනවා.
මෙම වන අලි ගල්ලෑව රක්ෂිතයට පන්නා දැමීමේ මෙහෙයුම පිළිබඳව සොයා බැලීමට ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් ද මහඉලුප්පල්ලම ප්‍රදේශයට පැමිණ තිබුණා.








