මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසකට එරෙහිව විමර්ශනයක්

ව්‍යාජ තොරතුරු මත පදනම්ව වාහන ලියාපදිංචි කිරීමේ සිද්ධි සම්බන්ධයෙන්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ව්‍යාජ තොරතුරු යොදාගෙන ලියාපදිංචි කළ වාහන 08 ක් පසුගිය සති කිහිපයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල තිබී පොලිස් භාරයට ගෙන තිබුණු අතර, ඒ සම්බන්ධ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම වාහන රේගුවට වසන් කර මෙරටට ආනයනය කර, පසුව පැරණි වාහනවල චැසි අංකවලට ලියාපදිංචි කර ඇති බවයි.

එම ජාවාරමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසකගේ සහාය ලැබී ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු වී ඇති බවත්, ඇතැම් මෝටර් රථ ලියාපදිංචිය සඳහා වන දත්ත, පරිගණකවලට ඇතුළත් කර ඇත්තේ කාර්යාලයීය වේලාවලින් පසුව බවත් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

අධිකරණ නියෝග මත, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් මේ වනවිටත් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.