මහින්දගේ ආරක්ෂකයාගේ ඉන්ධන හලක්, හෝටලයක්, ඉඩම් ඇතුළු මිලියන 28ක වත්කම් ගැන අනාවරණය වෙයි

රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි, ඔක්තෝබර් මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළා.

අද (02) දහවල් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ නෙවිල් වන්නිආරච්චි, අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ සඳහන් කර සිටියා:

“ස්වාමීනී, 2014 වසරේ ජූලි මස 24 වැනිදා අල්ලස් කොමිසමට ලැබුණු ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළා. ඉන් අනතුරුව විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස 2016 වසරේ දෙසැම්බර් මස දැනුම් දුන්නත්, එම තොරතුරු නිසි ආකාරව ඔහු ලබා දුන්නේ නෑ. පසුගිය වසර 07 තිස්සේ විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදීම සහ ඒ සඳහා ප්‍රකාශ ලබාදීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටීම ඔහු මඟ හැර තිබෙනවා. මේ වසරේ අගෝස්තු මාසයේ ඔහු තොරතුරු සමහරක් ලබා දුන්නා. ඒවා අසම්පූර්ණ තොරතුරු. මේ වන විට සිදු කර තිබෙන විමර්ශනවලට අනුව සැකකරු තමන්ගේ නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 28ක් වැඩිපුර උපයාගෙන තිබෙන බවට තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා. මෙම සැකකරුට ප්‍රකාශ ලබා දෙන්න කියලා අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නා. එහෙත් ඔහු ආවේ නෑ. දුරකථන ඇමතුම් ලබා දුන්නත් ඒවාට පිළිතුරු ලබා දුන්නේ නෑ. අවසානයේදී එක් දුරකථන ඇමතුමකට ඔහු තත්පර 52ක පිළිතුරක් ලබා දුන්නා. එහිදී ඔහු සඳහන් කළේ ‘දැන් එන්න බැහැ’ කියලයි.”

වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරියා කියා සිටියේ:

“ස්වාමීනි, අද දින මේ සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔහු විසින් අත්පත් කරගෙන තිබෙන දේපළ ගණනාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා. වලස්මුල්ල ප්‍රදේශයේ අක්කර තුනයි පර්චස් හතක විශාලත්වයකින් යුත් ඉදිකරමින් පවතින ඉන්ධන හලක්, පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා නිවසක්, මහරගම නාවින්න ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 125ක් වටිනා නිවසක් මොහු විසින් අත්පත් කරගෙන තිබෙන බවට අනාවරණය වී තිබෙනවා. ඊට අමතරව දෙමටගොඩ ප්‍රදේශයේ රුපියල් දහසය ලක්ෂ පනස් දාහක වටිනා නිවසක්, තිස්සමහාරාම ප්‍රදේශයේ පර්චස් 44කින් යුත් හෝටලයක්, මාදිවෙල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 400ක් පමණ වටිනා ඉඩමක් මොහු විසින් අත්පත් කරගෙන තිබෙන බවට කරුණු අනාවරණය වී තිබෙනවා. ඊට අමතරව මෙම සැකකරුට බෙලිඅත්ත සහ වීරකැටිය ප්‍රදේශීය බදු පදනම මත ලබාගත් කඩසාප්පු තිබෙන බවටත් තොරතුරු අනාවරණය වුණා. එමෙන්ම මෙම සැකකරුට බස් රථ හා ටිපර් රථ ගණනාවක් තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම වාහනවල සේවය කරන්නේ මොහුගේ ඥාතීන්. ඒ නිසා එම වාහනවලින් මොහුට කොපමණ ආදායමක් ලැබෙනවාද යන්න ගණනය කිරීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කළ යුතුයි.”

වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ කරුණු දක්වමින්:

“ස්වාමීනි, මෙම සැකකරු පසුගිය වසර හත තුළ විමර්ශනවලට අවශ්‍ය සහාය ලබා දුන්නේ නැහැ. ප්‍රකාශ ලබාදීම සඳහා දැනුම් දුන් අවස්ථාවල පැමිණියේ නෑ. විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදීමක්ද සිදු කළේ නැහැ. මොහු යටතේ තිබෙන බස් රථ හා ටිපර් රථවල සේවය කරන්නේ ඔහුගේ ඥාතීන්. මොහුට ඇප ලබා දුනහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමට හැකියාවක් තිබෙනවා. එම නිසා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්” ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්:

“ස්වාමීනී, මෙම සැකකරුට එරෙහිව මීට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් නඩු පහක් ගොනු කර තිබුණා. ඔහු එම චෝදනාවලට වරද පිළිගත්තා. මොහු විමර්ශනවලට සහාය ලබා නොදුන් බවට අල්ලස් කොමිසම එල්ල කරන චෝදනා පිළිගන්න බැහැ. මොකද මොහු විමර්ශනවලට අවශ්‍ය දිවුරුම් ප්‍රකාශ හතක් අවස්ථා කිහිපයකදීම ලබා දීලා තිබෙනවා. ඒ වගේම මේ විමර්ශනය පසුගිය වසර 11 තිස්සේ පැවැත්වෙනවා. ඒත් මේ සැකකරු කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් කළ බවට මේ දක්වා පැමිණිල්ලක් ඉදිරිපත් වී නැහැ. ඔහු විමර්ශනවලට අවශ්‍ය පූර්ණ සහාය ලබා දීලා තිබෙනවා.” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ අනුව සැකකරු ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා:

“මෙම සැකකරු මීට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ නොකිරීම සම්බන්ධ නඩු පහකට වරද පිළිගත් බව ඔහුගේ නීතිඥවරු ප්‍රකාශ කළා. එහෙත් එම නඩුකරය හා මෙම විමර්ශනය කරුණු දෙකක් බව පෙනී යනවා. සිය විමර්ශනවලට මේ සැකකරු සහාය ලබා නුදුන් බවටත් අල්ලස් කොමිසම ප්‍රකාශ කළා.” ඒ අනුව “මෙම අවස්ථාවේදී විමර්ශන කටයුතු ඉදිරියටත් සිදුවන හෙයින් මෙම සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන” බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

ඒ අනුව, අදාළ සැකකරු ඔක්තෝබර් මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එදින මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන සහ ඔහු විසින් අත්පත් කරගෙන ඇති බව කියන දේපළ පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.