තණමල්විල – වැල්ලවාය මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙක් මියගොස්, තවත් 05 කට තුවාල

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේදී අද (03) අලුයම සිදුවූ අනතුරකින්, එක් පුද්ගලයෙක් මියගොස් තවත් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයක රියදුරුට නින්ද යෑම හේතුවෙන්, එය මාර්ගයෙන් ඉවතට පැන, ගසක ගැටී අනතුර සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු ඇතුළු හයදෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු, එයින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රාජකාරී කටයුත්තකට ගොස්, යළි බුත්තල බලා යමින් සිටි පිරිසක් බවද සඳහන්.

තුවාලකරුවන් අවුරුදු 23, 35, 49 යන වයස්වල පසුවන පුද්ගලයින් වනවා.

තණමල්විල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.