ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාධනීය යෝජනා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට – අග්‍රාමාත්‍ය හරිනි

ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන සාධනීය යෝජනා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇතුළු කරන්න සූදානම් බවත්, තම ළමා කාලය ගැන කතා කරනවා වෙනුවට දරුවන්ට සුන්දර ළමා කාලයක් උරුම කර දීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ 5 වැනි සැසිවාරය නැරඹිමෙන් අනතුරුව අද (26) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.

“වත්මන් පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් ලොව දකින දරුවන් අනාගත ගෝලීය අභියෝග ජයගැනීමට සුදානම් ද ? යන තේමාව යටතේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා.

එම පාර්ලිමේන්තු සභාවාරය අවසානයේ දරුවන් වෙනුවෙන් සහතිකපත් ප්‍රදානය අග්‍රාමාත්‍යවරිය අතින් සිදු කෙරුණා.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

”නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව වැඩිහිටියන්ට වඩා හොඳින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ දරුවන් තේරුම් අරගෙන තියෙනවා. ඔවුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හොඳින් විශ්ලේෂණය කරලා තිබුණා. එහි තිබෙන හොඳ නරක අභියෝග ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ඔබ ඉතාමත්ම දක්ෂ විදියට ඉදිරිපත් කළා. මම ඇත්තටම යෝජනා කරනවා ඔබත් මේ ගැන කතා කරන්න, මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අමාත්‍යංශයේ ඉන්න නිලධාරින්ගේ හෝ අමාත්‍යවරු විතරක් හදන දෙයක් වෙන්න බෑ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ රටක ඇතිවෙන සංවාදයක් තුළ අපි එකතුවෙලා නිර්මාණය කරගත යුතු දෙයක්. ඒකට සෘජුවම මේ රටේ තරුණ පරපුර, සිසු සිසුවියන් සම්බන්ධ විය යුතුයි. ඒ නිසා මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. ඔබ පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් තියලා හරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඔබේ වයසේ අනිත් ශිෂ්‍යයා ශිෂ්‍යාවන්ගෙන් අදහස් යෝජන අරගෙන අපිට එවන්න ඒවා අපිට හරිම වැදගත්. මට පාසලේ සිසුවියක් පරිසර හිතකාමී සැලසුම් ව්‍යාපෘතියක් භාරදුන්නා ඒ උත්සාහයන් ගොඩාක් වටිනවා. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මෙතන විවා⁣දයේදි එක අමාත්‍යවරියක් කළ කතාවක් මට ඉතා තදින් දැනුණා. ඒ තමයි ළමා කාලයේ සුන්දරත්වය ගැන කථා කරන වැඩිහිටියන් අපේ ළමා කාලය විනාශ කරනවා කියලා. මම අද තීරණය කළා ආපසු මගේ ළමා කාලය ගැන මම දරුවන් ඉදිරියේ කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට මේ රටේ දරුවන්ට සුන්දර ළමා කාලයක් උරුම කර දෙන්න කටයුතු කරනවා. ඒ වගේම ඔබ සියලු දෙනා ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරය කළමනාකරණය කළ ආකාරය, ඒ තුළ කතා කරපු විදිහ දැක්කම ඒක අහගෙන ඉන්නකොට හිතටත් පුදුමතුටක් හරිම ආඩම්බරයක් දැනුණා. රට ගැන විශ්වාසයක් ඇතිවුණා.”