ඛනිජ තෙල් සංස්ථාව රජයට ණය වශයෙන් ඇති රුපියල් බිලියන 884ක් ගෙවීම සඳහා ඉන්ධන ලීටරයකින් රුපියල් 50ක් අය කර ගැනීමට සිදුව ඇති බව බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.
අදාළ ණය ගෙවූ පසුව ඉන්ධන මිල අඩු කිරීමට සලකා බැලිය හැකි බව ද බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා පැවසීය.
එම ණයවලින් අඩක් පමණ මේ වන විට ගෙවා ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.
අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,
පිටරටින් ඉන්ධන මිල දී ගැනීමේ මිල සූත්‍රය ඛනිජ තෙල් සංස්ථාව සෑම මාසයකම ප්‍රකාශයට පත් කළා. නමුත් පසුගිය අප්‍රේල් මාසයේ සිට එය ප්‍රකාශයට පත් කළේ නෑ. ලංකාවට එන මුදල, ගොඩබෑමේ ගාස්තුව ආදි වශයෙන් ඒ අය කිරීම් ටික දානවා. නමුත් එය වෙබ් අඩවියේ දැන් දාන්නේ නෑ. ආණ්ඩුව විපක්ෂයේ සිටින විට කිවුවේ මේ තෙල්වලින් මෙච්චර මුදලක් ගහනවා. කංචන විජේසේකරගේ සාක්කුවට මෙච්චරක් යනවා කියලානේ. මේ ජූනි මාසයේ තෙල් ගොඩබෑමේ විස්තරය මං ළඟ තිබෙනවා. එහිදී ලෑන්ඩින් කොස්ට් එක 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකට රුපියල් 161.18යි. ඒත් ඉන් රුපියල් 120.42ක් රජය බදු වශයෙන් ජනතාවගෙන් ගන්නවා. දැන් ඕක තමයි කිවුවේ කංචන විජේසේකරගේ සාක්කුවට යනවා කියලා. ඒ වගේම අනෙක් 95 වර්ගයේ පෙට්‍රල් ගේන්න 154.39යි. ඊට බදු ගහනවා 145.29ක්. ඊළඟට ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් ගේන්න 185.67යි, ඒකෙන් බදු ගහනවා රුපියල් 97.47ක්. ලංකා සුපර් ඩීසල් ලීටරයක් ගේන්න රුපියල් 157.84යි, ඉන් බදු ගහනවා 120.67ක්. මේ බදු අඩු කරලා සහනය දෙනවා කිවුවා. හැබැයි කවදා ද මේ බදු අඩු කරලා සහනයක් දෙන්නේ. බදු අඩු කළොත් රුපියල් 161.18කට පෙට්‍රල් ලීටරයක් දෙන්න පුළුවන්.
ඇමැති කුමාර ජයකොඩි මහතා,
බදු ආදායම මිලියන දෙලක්ෂ අසූහතරදහස් හාරසිය තිස් එකක්. ඉන්ධන අලෙවියේදී වංචා සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු වෙනවා. ඒ වගේම එම විමර්ශනය අවසන් වුණාම වංචා සිදුව තිබේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය වෙනවා. වංචාවන් සිදුව ඇත්ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිත පිළිතුරක් ලබාදිය නොහැකියි.
ප්‍රභේද දෙකක් තිබෙනවා. එකක් ප්‍රිමියම් එක හරහා සාක්කුවට යන එක. අනෙක බදු මුදල් සාක්කුවට යන්න බෑණේ. ආණ්ඩුවටනේ යන්නේ. ප්‍රිමියම් එක මෙට්‍රික් ටොන් එක ඩොලර් 35ට 37ට තිබුණු එක, දැනට 03ට ආසන්න ප්‍රමාණයකට තමයි අය වෙන්නේ, එතකොට හිතාගන්න පුළුවන්නේ කෝකද සාක්කුවට ගියේ කියලා. නමුත් බදු ප්‍රශ්නය ගත්තම, ඔය එදා සිට තිබුණු බද්ද තමයි අය කරන්නේ. රජයේ සාමාන්‍යයෙන් අය කරන වැට් සහ අනෙකුත් බදු සමඟ අපි ආණ්ඩුව ගන්න විටත් රුපියල් බිලියන 884ක ණය තිබුණා. ණය මුදල් තවම ගෙවා අවසන් නැහැ. ඒ ණය මුදල් දැන් භාගයකට ආසන්නයෙන් ගෙවලා තිබෙන්නේ. ඒ ණය මුදල සම්පූර්ණයෙන් ගෙවලා අවසන් වූ පසුව අපිට සලකා බලන්න පුළුවන්. ඒ මුදල අයින් කරන්න. ඒ ඇරෙන්න අනෙක් ඒවා සාමාන්‍ය බදු පමණයි තියෙන්නේ.
දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු ලෙස මීට වඩා වගකීමෙන් ප්‍රශ්න ඇහුව නම් හොඳයි. ජූලි පළමු වැනිදා මිල තීරණය කරන්නේ ජූනි මාසයේ දත්ත පදනම් කර ගනිමින්. ඩීසල් ගත්තොත් රුපියල් අටක් පාඩුවට තමයි දැනුත් විකුණන්නේ. ක්‍රමවේදය ගැන යම් අවබෝධයක් තිබුණ නම් හොඳයි.
ස්වර්ණා විජේකෝන්, මහින්ද අලුත්ගෙදර, සන්ධ්‍යා කරුණාරත්න