යුනෙස්කෝවෙන් අමෙරිකාව යළි ඉවත් වෙයි

අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝවෙන් (UNESCO) යළි ඉවත්වන බව අද (22) නිවේදනය කළා.

මෙම තීරණය 2026 දෙසැම්බර් අග වන විට බලාත්මක වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා ටැමී බෲස් ප්‍රකාශ කළේ, “යුනෙස්කෝව භේදකාරී සමාජ හා සංස්කෘතික අරමුණු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන අතර, අපගේ ‘ඇමරිකාව ප්‍රථමයෙන්’ විදේශ ප්‍රතිපත්තියට නොගැලපෙන ගෝලීයවාදී, මතවාදී න්‍යායපත්‍රයක් වන එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක කෙරෙහි අධික අවධානයක් යොමු කරයි” යනුවෙනුයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු අධ්‍යාපනය, විද්‍යාව සහ සංස්කෘතිය තුළින් ජාත්‍යන්තර සහයෝගීතාවය තුළින් සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා පිහිටුවන ලද පැරිස් මූලස්ථානය සහිත මෙම ආයතනයට මෙම පියවර දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි බොහෝ දෙනෙක් පවසන්නේ.
යුනෙස්කෝවේ ප්‍රධානී ඕඩ්‍රි අසූලේ ප්‍රකාශ කළේ, ඇමරිකාවේ මෙම නිවේදනය පුදුමයට කරුණක් නොවන බවයි. “ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදය යළිත් යුනෙස්කෝවෙන් ඉවත් කර ගැනීමට ගත් තීරණය ගැන මම ඉතා කණගාටු වෙනවා,” අසූලේ පැවසූ අතර “කණගාටුවට කරුණක් වුවද, මෙම නිවේදනය අපේක්ෂා කළ දෙයක් වූ අතර, යුනෙස්කෝව ඒ සඳහා සූදානම්ව සිටියා.” යනුවෙනුයි පවසා සිටියේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළදීද යුනෙස්කෝවෙන් ඉවත් වූ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, ගෝලීය දේශගුණික විපර්යාස ගිවිසුම සහ 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්ද ඉවත්වුනා.

ජෝ බයිඩන් 2021 දී බලයට පත්වීමෙන් පසු එම තීරණ ආපසු හැරවූ අතර, එක්සත් ජනපදය යුනෙස්කෝවට, WHO වෙත සහ දේශගුණික ගිවිසුමට යළි එක් වුණා.

ට්‍රම්ප් යළි ධවල මන්දිරයට පැමිණීමත් සමඟම, එක්සත් ජනපදය නැවතත් මෙම ගෝලීය ආයතනවලින් ඉවත් වෙමින් සිටිනවා.
එක්සත් ජනපදය මුලින් 1945 දී යුනෙස්කෝව පිහිටුවීමේදී ඊට එක් වූ නමුත්, 1984 දී මූල්‍ය අක්‍රමිකතා සහ ඇමරිකානු විරෝධී නැඹුරුවක් යැයි කියනු ලැබූ දේට විරෝධය පළ කරමින් පළමු වරට ඉවත් වුණා.

වසර 20 කට පමණ පසු 2003 දී ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යටතේ නැවත එක් වූ අතර, එවකට ඔහු ප්‍රකාශ කළේ ආයතනය අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කර ඇති බවයි.