රජය විසින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කිරීමත් සමඟ මේ වනවිට වී මෙට්‍රික් ටොන් 1238ක් මිලදී ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා ප්‍රකාශ කළේය.
මේ වසරේ යල කන්නයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කරන වැඩපිළිවෙළ පැහැදිලි කරමින් සභාපතිවරයා මෙසේ ද පැවසීය.
“වසර 2025 යල කන්නේ වී මිලදී ගැනීම බොහෝ තැන්වල දැන් ආරම්භ කරලා තිබෙනවා. මෙවර අස්වැන්න ලැබෙන්නේ විසිරුණු විදිහට. කලින්ම අම්පාරේ කපන්න පටන් ගත්තා. ගබඩා විවෘත කරලා තිබෙනවා. උතුරු පළාතෙත් පුත්තලම, මුලතිව් මේ ස්ථානවලත් ගබඩා විවෘත කරලා තිබෙන්නේ මේ වෙනකොටත් ගොවි මහතුන් වී ලබාදෙමින් පවතිනවා.
මේ වෙනකොට අපිට වාර්තා වෙලා තිබෙනවා වී මෙට්‍රික් ටොන් 1238ක් පමණ අපිට ලබා දීලා තිබෙනවා. අපි දිගටම වී මිලදී ගැනීම සිදු කරනවා. පරණ මිලටම ගොවි මහතුන්ට නාඩුවලට රුපියල් 120ක්, සම්බා රුපියල් 125ක්, කීරී සම්බා රුපියල් 132ක් ලෙස කිලෝ එකකට අපි ගෙවීම් කරනවා. මණ්ඩලයෙන් ගොවීන්ට හැකි ඉක්මනින් මුදල් ලබාදීමට කටයුතු කරනවා.
වී ආවොත් අපි දිගටම ගන්න බලාපොරොත්තු වෙනවා. රුපියල් මිලියන 6000ක් රජයෙන් අපිට වෙන් කරලා තිබෙනවා. වී මිලදීගන්න තව තවත් වී ලබාදෙනවා නම් අපි රජයත් එක්ක කතා කරලා මුදල් ලබා ගන්නවා.
අපට ගබඩාවල මෙට්‍රික් ටොන් 210,000ක් විතර වී ගබඩා කරන්න හැකියාව තිබෙනවා. සතොසත් වී මිලදී ගැනීම කරනවා. ඒගොල්ලන්ගේත් යම් ගබඩා ප්‍රමාණයක් තිබෙනවා. අපට දැනට ලබාදීලා තිබෙන මුදලින් අපිට ලබාගන්න පුළුවන් වෙන්නේ වී මෙට්‍රික් ටොන් 47,000ක් පමණ.
ගොවි මහතුන් අපිට වී ලබා දෙනවා නම් රජයත් එක්ක කතා කරලා අපිට එය තවදුරටත් වැඩි කරගැනීමේ හැකියාවක් තිබෙනවා. නිලධාරීන්ගේ ලොකු අඩුවක් තිබෙනවා. එකම නිලධාරියා ගබඩා කිහිපයක වැඩ කරන අවස්ථා තිබෙනවා. අපි ගොවියන්ට දැනුම් දෙනවා මේ ගබඩා විවෘත කරලා තිබෙන වේලාවල් මාරුවෙන් මාරුවට ඒ ගබඩාවල වී ලබා ගැනීම කරනවා.
කෘෂිකර්ම අමාත්‍යංශයෙන් අනුයුක්ත කරපු සංවර්ධන නිලධාරීන්ගේ සහායත් අපි ලබා ගන්නවා. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහාය ඇතිව එය සිදු කරනවා. බරපතළ නිලධාරි හිඟයක් තිබෙනවා. ටිකින්ටික අපි මේවා විසඳනවා. මේ කන්නේ වී ලබා ගැනීමේදී නිලධාරි හිඟයට විසඳුමක් හැටියට එක නිලධාරියාට භාර දීලා තිබෙනවා ස්ථාන කිහිපයක් බලන්න. මේ නිසා සතියට කිහිප දවසයි මේ ගබඩා විවෘත කිරීම් කරන්න පුළුවන්.
අපි වර්ගීකරණය කරලා තිබෙන්නේ නාඩු සම්බා කීරි සම්බා, රතු සහල් වැටෙන්නේ නාඩු වර්ගයක් හැටියට. නාඩුවල ගෙවීම ඒකට සිද්ධ කරනවා.
අපි යෝජනා කරලා තිබෙනවා මීට අමතරව ගොවීන්ගෙන් තෙත වී මිලදී ගන්න ක්‍රමයක් ගැනත්, රජය තෙත වීවලටත් මිලක් නියම කරලා තිබෙනවා. ඒ මිලට ඉදිරියේදී ගොවීන්ගෙන් තෙත වී මිලදී ගැනීමේ සාකච්ඡාවකුත් තිබෙනවා.
අපි ගාව ලියාපදිංචිවෙලා ඉන්න කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සම්බන්ධ කරගෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. තාම ගොවි බිම්වල ගොයම් කැපෙන්න පටන් ගත්තා විතරයි. ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපි වැඩසටහන්වලට යනවා. තෙත වී වේලිලා ලබාගැනීමේ ක්‍රමයක් ගැනත් වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. නාඩුවලට රු 102ක්, සම්බා සඳහා 105ක්, කීරී සම්බා සඳහා 112 ක් තෙත වීවලට ගෙවනවා.
ගොයම් කැපෙන විදිහට තමයි අපි ගබඩා විවෘත කරන්න පටන් ගත්තේ. ඉස්සෙල්ලම කැපෙන ප්‍රදේශවල අපි අවශ්‍ය සියලුම ගබඩා අපි විවෘත කරලා තියෙන්නේ. සමහර ගබඩා ගරා වැටිලා තිබුණේ. ඒවා අලුත්වැඩියා කළ යුතුයි. ඔය චෝදනා කරන ප්‍රදේශවල තාම ගොයම් කපන්නේ නැති ප්‍රදේශ තියෙන්නේ. ගබඩා සියල්ල විවෘත කරන්න පුළුවන් ගබඩා සියල්ල විවෘත කරනවා. අපට ලක්ෂ දෙකක විතර ධාරිතාවක් තියෙනවා. අඛණ්ඩව වී ලබා ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා.”