මෙරට අධ්‍යාපන පද්ධතියේ සිදු කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ යටතේ, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය (O/L) සඳහා සිසුන් දැනට මුහුණදෙන විෂයන් 09 වෙනුවට එය විෂයන් 07 ක් දක්වා අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.
එමෙන්ම, විෂයන් සඳහා A, B, C ලෙස දැනට ලබාදෙන ඇගයීම් ක්‍රමවේදය වෙනුවට Credit මත පදනම් වන GPA ලකුණු ක්‍රමයක් ද හඳුන්වාදීමට යෝජනා වී ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම නව ක්‍රමවේදය අනුව සාමාන්‍ය පෙළ අධ්‍යාපන රාමුව පොදු මූලික විෂයන්, වැඩිදුර අධ්‍යයන ක්ෂේත්‍ර සහ තීර්යක් කුසලතා (Transversal Skills) ලෙස කොටස් තුනකට වෙන්කර තිබෙනවා.
පොදු මූලික විෂය මාලාව යටතේ අනිවාර්යය විෂයයන් 05 ක් සහ තෝරාගත් විෂයන් 02 ක් සිසුන් අධ්‍යයනය කළ යුතුයි. මව් බස, ඉංග්‍රීසි භාෂාව, ගණිතය, විද්‍යාව, ආගම සහ සාරධර්ම අධ්‍යයනය යන විෂයන් සිසුන් හැදෑරිය යුතු අනිවාර්යය විෂයන් වනවා. මෙම අනිවාර්යය විෂයන් යටතේ සිසුන් Credit 14 ක් ලබාගත යුතුයි.
පොදු මූලික විෂය මාලාව යටතේ තෝරාගන්නා විෂයන් යටතට මෙතෙක් අනිවාර්යය විෂයක් ලෙස සැලකූ ඉතිහාසය සහ කාණ්ඩ විෂයක් ලෙස සෑම සිසුවෙකුම තෝරාගත යුතුව තිබූ සෞන්දර්යය විෂයද ඇතුළත් කර තිබෙනවා. මීට අමතරව දෙවන ජාතික භාෂාව, ICT, පුරවැසි අධ්‍යාපනය, සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය, තාක්ෂණය, භූගෝල විද්‍යාව, ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය යනාදිය තෝරාගන්නා විෂයන්ට ඇතුළත් වනවා. මෙහිදී තෝරාගන්නා විෂයන් දෙකෙන් Credit 04 ක් සිසුන් උපයාගත යුතුයි.
මීළඟට වැඩිදුර අධ්‍යයන ක්ෂේත්‍ර යටතේ විෂය කාණ්ඩ 04 ක් හඳුන්වා දී තිබෙනවා. STEM, මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාව, කළමණාකරණය සහ ව්‍යවසායකත්වය, වෘත්තීය පුහුණු ලෙස මෙම කාණ්ඩ වෙන්කර ඇති අතර, සිසුන් මෙම කාණ්ඩවලට අයත් විෂයන් අතරින් විෂයන් 07 ක් හැදෑරිය යුතුයි. මෙම විෂයන් යටතේ සිසුන් Credit 14 ක් උපයාගත යුතු වනවා.
මීට අමතරව හඳුන්වා දීමට නියමිත තීර්යක් කුසලතා විෂය කාණ්ඩයෙන්ද සිසුන් Credit 03 ක් ලබාගත යුතු අතර, මෙම විෂයන් හඳුන්වා දීමට නියමිතව ඇත්තේ අවශ්‍ය මානව සහ භෞතික සම්පත් වලින් අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණ වූ පසුවයි.
ඒ අනුව, සාමාන්‍ය පෙළ සඳහා එක් පාසැල් වාරයක් අවසානයේ සමස්ත ක්‍රෙඩිට් 35 ක් සිසුන් ලබාගත යුතුයි.
මෙම නව ප්‍රතිසංස්කරණ මගින් හඳුන්වාදෙන වැඩිදුර අධ්‍යයන ක්ෂේත්‍ර විෂය කාණ්ඩ 04 මගින් සිසුන්ට ඔවුන් උසස් පෙළ සඳහා අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන විෂයන් සඳහා මූලික ප්‍රවේශයක් ලබා දීමේ අවස්ථාවද හිමිකර දී තිබෙනවා.
<em>නව ප්‍රතිසංස්කරණ අනුව සාමාන්‍ය පෙළ අනිවාර්ය විෂයන් සහ තෝරාගත යුතු විෂයන්</em>
<em>හඳුන්වා දී ඇති වැඩිදුර අධ්‍යයන විෂය කාණ්ඩයන්</em>
<em>තීර්යක් කුසලතා විෂයන් සහ වැඩිදුර අධ්‍යයන විෂයන් තෝරාගත යුතු ආකාරය</em>