ඇමරිකා එක්සත් ජනපදය සමඟ අන්තර්කාලීන වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට ඉන්දියාව සූදානම්ව ඇති බව වාර්තා වෙනවා.
මේ අනුව, ඉන්දියාවට පනවා ඇති තීරුබදු 20% ට වඩා අඩු මට්ටමකට අඩු කිරීමට ඉඩ ඇති අතර, ගෝලීය වශයෙන් නව, වඩා ආක්‍රමණශීලී තීරුබදු ක්‍රමයක් ක්‍රියාත්මක කරන ඇමරිකාව හමුවේ, කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉන්දියාවට වාසිදායක ස්ථානයක් හිමි වනු ඇති.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම සතියේ අනෙකුත් රටවලට මෙන් ඉන්දියාවට අමෙරිකාවෙන් නිල තීරුබදු ඉල්ලීම් ලිපියක් නොලැබෙනු ඇති බවත්, ඒ වෙනුවට, වෙළඳ ගිවිසුම ප්‍රකාශයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් ය.
මෙම විභව ගිවිසුම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනෙකුත් බොහෝ වෙළඳ හවුල්කරුවන් සමඟ අනුගමනය කරන ප්‍රවේශයට වඩා බෙහෙවින් වෙනස් වන අතර, අගෝස්තු 1 වන දින නියමිත කාලසීමාවට පෙර, ට්‍රම්ප් මේ සතියේ අනෙකුත් වෙළඳ හවුල්කරුවන් වෙත සමහර අවස්ථාවලදී 50% තරම් ඉහළ තීරුබදු අනුපාත ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෑතකදී ඔහු NBC පුවත් සේවයට පැවසුවේ තවමත් තම තීරුබදු අනුපාත පිළිබඳව දැනුම් දී නොමැති බොහෝ රටවල් සඳහා 15% ත් 20% ත් අතර සාමාන්‍ය තීරුබදු පැනවීමට සලකා බලන බවයි.
බොහෝ ඇමරිකානු වෙළඳ හවුල්කරුවන් සඳහා වත්මන් ගෝලීය මූලික අවම බද්ද 10% කි.
මේ වසරේ ධවල මන්දිරය සමඟ වෙළඳ සාකච්ඡා ආරම්භ කළ පළමු රටවල් අතර ඉන්දියාව ද විය.
සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා ඉන්දීය නියෝජිත කණ්ඩායමක් ඉක්මනින් වොෂින්ටනයට පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.