බඩඉරිඟු සැපයුම වැඩිදියුණු කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක්

බඩඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණෙන් පත් කරන ලද බඩඉරිඟු කාර්යයසාධන බලකායෙන් බඩඉරිඟු සැපයුම වැඩිදියුණු කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් යෝජනාවී තිබේ.

මේ තුළින් බඩඉරිඟු සැපයුම වැඩි දියුණු කිරීමත් ඒ සඳහා තාක්ෂණික පැකේජයක් හඳුන්වා දීම, නිෂ්පාදන පිරිවැය අවම කිරීමට නව යන්ත්‍ර හඳුන්වා දීම, දේශීය දෙමුහුන් බීජ හඳුන්වා දීම, නිසි අස්වනු නෙලීම සහ පසු අස්වනු හානිය අවම කිරීමට කටයුතු කිරීම සිදු කළ යුතු බවටද යෝජනා වී ඇත.

මෙම කාර්ය සාධක බලකායේ පළමු තාක්ෂණික කමිටු රැස්වීම ඊයේ (09) කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන මන්දිරයේදී පැවැත්වුණු අවස්ථාවේදී මේ පිළිබඳව අනාවරණය විණි.

මෙම කමිටුවේ සභාපති බඩඉරිඟු බෝග නායක බුද්ධික අබේසිංහ මහතා විසින් බඩඉරිඟු වගාවේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කරන ලදී. ඒ අනුව 2026දී සත්ව ආහාර නිෂ්පාදනය සහ මිනිස් පරිභෝජනය සඳහා අවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 750,000කි. නමුත් අපේක්ෂිත බඩඉරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 485,000කි. ආනයන අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 265,000කි. අඩු ඵලදායීතාවය, ගුණාත්මකභාවය පවත්වා ගැනීමේ අඩුපාඩු, අලෙවි මිල අස්ථාවර වීම, ආනයනික බඩඉරිඟු අඩු මිලට ලබා ගත හැකි වීම, කුකුළු ආහාර කර්මාන්තකරුවන් සහ වගකිව යුතු පාර්ශව අතර සම්බන්ධීකරණයක් නොමැති වීම බඩඉරිඟු වගාවේදී පැනනැගී ඇති ගැටලු වශයෙන් ඒ් මහතා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

එම ගැටලු මඟහරවා ගැනීමට හැකි පියවර ද මෙහිදී සාකච්ඡාවට වූ අතර බඩඉරිඟු සැපයුම වැඩි දියුණු කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් සකස් කිරීම ගැටළු මඟ හරවා ගැනීමට යෝජනා විය.

වසරක් පුරා බඩඉරිඟු ‍අලෙවි මිලක් තීරණය කිරීම, වෙළඳපොළ සැපයුම්කරුවන් සහ මිලදී ගන්නන් ලියාපදිංචි කිරීම සහ ඩිජිටල් ක්‍රමවේදයක් සකස් කිරීම, දේශගුණ අවදානම් ආදිය ජය ගැනීම සඳහා බෝග ආරක්ෂණය මෙන්ම රක්ෂණ පහසුකම් වැනි අවශ්‍ය සේවාවන් නිර්දේශ කිරීම සහ බඩඉරිඟු නිෂ්පාදන සහ අලෙවි සමුපකාර සමිති පිහිටුවීම, ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මැදිහත්වීම ද සිදු කළ යුතු බවටද අවධාරණය කෙරිණි.

මෙහිදී කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේ බඩ ඉරිඟුවලින් වැඩිම ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ සත්ව ආහාර සඳහා බවයි.’ කුකුළු කෑමවලින් සියයට පනහක් පමණ යොදාගන්නේ බඩඉරිඟු. එම ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට මේ වනවිට සැලැස්මක් හදලා තියෙනවා. ඉතිරිය ආනයනය කළ යුතුයි.බඩඉරිඟු වැවීමට නායකත්වය දෙනවා වගේම බඩඉරිඟු ආනයනයේදී මේ කමිටුව හරහා නායකත්වය දිය යුතුයි. මීට අවුරුදු හයකට හතකට කලින් කලින් බිත්තර ලක්ෂ 15ක විතර අතිරික්තයක් තිබුණා, දවසකට. එතකොට බිත්තර විකුණ ගන්න බැරිවුණා. ඇත්තටම ඒක අතිරික්තයක් නෙවෙයි. අපි පරිභෝජනය කරන ප්‍රමාණය අඩුයි. ඊට සාපේක්ෂව නිෂ්පාදනය වැඩියි. හැබැයි අපි පරිභෝජනය කළ යුතු ප්‍රමාණය අනුව අතිරික්තයක් නෙවෙයි. පරිභෝජනය වැඩි වෙන්න නම් මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි. ඊළඟට බිත්තරයේ මිල අඩු විය යුතුයි.”

කාර්ය සාධන බලකාය විසින් බඩඉරිඟු වගාවේ අභිවෘද්ධිය සඳහා අවධානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ද මෙහිදී අදහස් පළ කළේය.මෙම අවස්ථාවට බඩඉරිඟු කාර්යයසාධන බලකායේ තාක්ෂණික කමිටුව නියෝජනය කළ නිලධාරීන් ද සහභාගී විය.