කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් වහන්සේගේ – පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී ජනපති කියයි

කාලයේ වැලි තලාවෙන් යටවෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට කැපවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (07) පැවසීය.
කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් වහන්සේගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් කොළඹ අගරදගුරු මැඳුරේ ඊයේ (07) පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.
එතුමා තවදුරටත් මෙසේද පැවසීය.
කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ කැකෑරෙන වේදනාවකින් සිටින බව මා දන්නවා. විටෙක සාමකාමීව, විටෙක අපැහැදිලිතාවකින් යුතුව, විටෙක බලපෑම්සහගතව හැම වේලාවකම උන් වහන්සේ ඒ පිළිබඳව අපෙන් විමසනවා.පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම සඳහා ගත හැකි සෑම වෙහෙසක්ම මම ගන්නා බව උන් වහන්සේ ඉදිරිපිට මේ වේලාවේ පොරොන්දු වෙනවා.
සමාජයේ බිඳවැටී තිබෙන ජීවය හා ආධ්‍යාත්මය නැවත කැටුව ඒමට පරමාදර්ශී චරිත අවශ්‍ය යුගයක්. කාදිනල් හිමිපාණන් වහන්සේගේ අවුරුදු පනහක පූජක දිවිය පිළිබඳ අනුස්මරණය කරන අවස්ථාවට සහභාගි වීමට ආරාධනා කිරීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. උන් වහන්සේ භාෂා දහයක් පමණ හදාරා තිබෙන වියත් හිමිනමක්. විවිධ රාජ්‍යන්වල ආගමික කාර්යන් ඉටු කරමින් ,බයිබලය හොඳින් විවරණය කරමින් ධර්ම ගවේෂකයකු හැටියට උන්වහන්සේ කළ සේවාව අනුපමේයයි. සමාජය අවදි කිරීම වෙනුවෙන් කටයුතු කළ හොඳ මානවවාදියෙක් ලෙස මා දකිනවා. උන්වහන්සේගේ වසර පනහක පූජක දිවියේම තිබෙන්නේ මානව වාදයක්. සමාජය පවතින ආකාරය පිළිබඳ අප කාටවත් සෑහීමකට පත්වන්න බැහැ. දෙමාපියන් දරුවන් අතර සබඳතාව, ගුරුවරුන් හා සිසුවා අතර සබඳතාව, පැවිදි උතුමන් සහ ගිහි සමාජය අතර සබඳතාව, අද බිඳවැටී තිබෙනවා. එම සමාජ සබඳතා අයිස් වතුරේ ගිල්වා දමා මරා දමා තිබෙනවා. ඒ නිසා අප වෙත විශේෂ කාර්යභාරයක් පැවරී තිබෙනවා. මේ සමාජ දේහයේ ජීවය හා ආධ්‍යාත්මය නැවත කැටුව ඒමට අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා පරමාදර්ශී චරිත සමාජයට අවශ්‍යයි. මේ සමාජයට ජීවය කැටුව ඒම සඳහා කාදිනල් මැල්කම් හිමිපාණන් වහන්සේ වෙහෙසක් දරමින් සිටිනවා. පාස්කු ප්‍රහාරය අවස්ථාවේදී සමාජය විශාල සංකීර්ණ තත්ත්වයකට ඇදදමා තිබුණා. එහිදී සමාජය නිවීමට උන් වහන්සේ කළ මෙහෙය ප්‍රශංසනීයයි. එම කුළුණු ගුණය තිබුණේ නැත්නම් අද සමාජය තිබෙන්නේ කොතැනද?. සමාජය සුවපත් කිරීමට ඉතාම වෙහෙසකර ව්‍යායාමයක් උන් වහන්සේ සිදු කර තිබෙනවා. උන් වහන්සේ අද වන විට කැකෑරෙන වේදනාවක සිටින බව අප දන්නවා. වින්දිතයන්ට ඉටු විය යුතු සාධාරණය පිළිබඳ උන් වහන්සේ නිරන්තරයෙන් කතා කරනවා. උන් වහන්සේ අප වෙත එම වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම සඳහා නිරන්තරයෙන් කතිකාවත් කරනවා. ඒ පිළිබඳ කාලයේ වැලිතලා වෙන් යට නොවී සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන බව උන් වහන්සේට මා සහතික වෙනවා. එය අභියෝගාත්මක වෙන්න පුළුවන්. රජය රජයෙන් පරිබාහිරවත්, රජය රජය පිළිබඳවත් විමර්ශනය මේ සඳහා යොමු කර තිබෙනවා. අද රජය විසින් රජය ඇතුළාන්තය පිළිබඳ විමර්ශනයක් සිදු කරනවා. උන් වහන්සේ මේ පිළිබඳව දරන ප්රයත්නය පිළිබඳ අප අගයනවා. උන් වහන්සේගේ දිගු මානව ධර්ම චාරිකාව ඉදිරියටම කරගෙන යාමට සුබ පතනවා.
මහනාහිමිවරුන්, ආගමික නායකයන්, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආරාධිතයෝ රැසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
උපාලි කරුණාරත්න සහ චමීර ඇල්ලදෙණිය
ඡායාරූප – සුදත් නිශාන්ත