විවිධ අනතුරු හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයන් මිලියනයක් පමණ රජයේ රෝහල්වලින් නේවාසිකව ප්‍රතිකාර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසීය.
අනතුරු හේතුවෙන් වාර්ෂිකව මෙරට පුද්ගලයන් 12,000ක් පමණ මරණයට පත් වන බවත් සෑම තත්පර 8කට වරක්ම අනතුරක් නිසා ලෝකයේ කොතැනක හෝ මරණයක් සිදු වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව ඊයේ (02) පැවසුවේය. විවිධ හේතූන් නිසා වාර්ෂිකව අනතුරුවලට ලක් වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 3කට අධික බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
සතුන් සපා කෑම නිසා හදිසි අනතුරුවලට ලක්ව රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයෙන් වැඩිපුරම ප්‍රතිකාර ගැනීමට පැමිණෙන බවත් එම සංඛ්‍යාව සියයට 70ක් පමණ වන බවත් ඒ මහතා පැවසුවේය. සියදිවි හානි කර ගැනීම් ඉහළ ගොස් ඇති අතර දියේ ගිලීම් නිසා වසරකට 1000ක් පමණ මරණයට පත් වන බව ද ඔහු කීය. විවිධ හේතු නිසා වැටීම් හේතුවෙන් 1300ක්, මාර්ග අනතුරු නිසා 2500ක්, විවිධ විෂ වීම් නිසා 1000ක් පමණ වාර්ෂිකව මරණයට පත් වන බවත් ඒ මහතා පැවසීය.
ජාතික අනතුරු නිවාරණ සතිය මේ මස 07 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන අතර අනතුරු නිවාරණය කර ගැනීම මෙමඟින් අපේක්ෂා කරන බවත් මාර්ග ආරක්ෂාව හා රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේය.
මෙම සතිය තුළදී 07 වැනිදා මාර්ග අනතුරු වැළැක්වීම, 08 වැනිදා සේවා ස්ථානයේ අනතුරු වැළැක්වීම, 09 වැනිදා නිවෙස් සහ වැඩිහිටි නිවාස, 10 වැනිදා දියේ ගිලීම් නිසා සිදු වන අනතුරු වැළැක්වීම, 11 වැනිදා පෙර පාසල්වල සිදු වන අනතුරු වැළැක්වීම ලෙස වැඩසටහන් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
ජාතික අනතුරු නිවාරණ සතිය ආරම්භ වූයේ 2016 වසරේදී බවත් මේ වර්ෂයේදී දස වැනි ජාතික අනතුරු නිවාරණ සතිය සැමරීම සිදු කරන බවත් ඒ මහතා පැවසුවේය.
රියැදුරු මහතුන්ගේ නොසැලකිලිමත්කම නිසා මාර්ග අනතුරු වැඩි වශයෙන්ම සිදු වන්නේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
සන්ධ්‍යා කරුණාරත්න