ඉතිහාසයේ පළමු වරට ලංකාවේ පාසල් පද්ධතිය තුළට ඵලදායිතා සංකල්පය ගෙන යෑමට හැකි වූ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසීය.
“Clean Sri Lanka” ජාතික ව්‍යාපෘතියේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ මෙවලමක් ලෙස වසර 8කට පසුව මෙවර පැවැත්වීමට සැලසුම් කර ඇති ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව පසුගියදා (15) අරලියගහ මන්දිරයේදී පැවති අවස්ථාවේදී අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය මෙම අදහස් පළ කළාය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් සංවිධාන කරන මෙම ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය පාසල්, රාජ්‍ය සහ නිෂ්පාදන හා සේවා යන ප්‍රධාන ක්ෂේත්‍ර 3ක් යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. 1994 වසරේදී පිහිටුවනු ලැබූ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, ආසියානු ඵලදායිතා සංවිධානයේ (APO) මඟපෙන්වීම මත කලාපීය රටවල් 20ක සහයෝගිතාව සහිතව ශ්‍රී ලංකාවේ ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වෙයි. ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ විවිධ අංශ තුළ ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන අතර ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියට එම වැඩසටහන් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ ද කීය.
පසුගිය වසර කිහිපය තුළ අප රට මුහුණදුන් දරුණු ආර්ථික ප්‍රශ්න නිසා අපිට මෙම සම්මාන උලෙළ පැවැත්වීමට නොහැකි වුණා. අපි රටක් විදිහට ඒ ගැන කනගාටු විය යුතුයි. රට මේ තත්ත්වයට පත්වුණේ රටේ පාලකයන් නිවැරදි තීරණ, නිවැරදි අවස්ථාවේ නොගත් නිසයි. ඒ බව අපි හොඳින්ම අවබෝධ කරගෙන සිටිනවා. අපේ රටේ හෙට දවස වඩාත් යහපත් කිරීමේ අරමුණින් රට ගොඩනැඟීමේ ගමන්මඟේ වැදගත් තැනකට අප ඇවිත් සිටිනවා. රටක දියුණුව රඳා පවතින්නේ ඒ රටේ ජනතාව රට වෙනුවෙන් හඳුන්වා දෙන නිෂ්පාදන දායකත්වය මතයි. අපේ මුතුන් මිත්තන් අතර කියමනක් තියෙනවා, අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනඟී කියලා. ඒකෙනුත් කියල තියෙන්නේ අපි අලුතෙන් නිර්මාණ බිහිකළේ නැත්නම් අපි දියුණු වෙන්නේ නැහැ කියන එකයි. අපි සියලු දෙනාම එකමුතුකමින් වැඩ කරලා අලුත් නිර්මාණ බිහිකරලා රට ගොඩනැඟීමට දායක වෙන්න කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලනවා.
මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා,
ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය නැවත පැවැත්වීම පිළිබඳ ජනාධිපතිතුමාට මුලින්ම කිවුවම ජනාධිපතිතුමා කිවුවේ සම්මාන දෙන්න කලින් ඵලදායිතාව හදන්න කියලයි. මීට කලින් හුඟක් අවස්ථාවල සම්මානය තමයි දෙන්නේ. හැබැයි ඵලදායිතාව නැහැ. සම්මාන දීලා වැඩක් නැහැ ඵලදායිතාව නැතුව. ඒ නිසා ඵලදායිතාව පිළිබඳ සංකල්පය සමාජගත කිරීම අපේ පළමුවැනි වැඩසටහනයි.
ඒකට නිසි තැන නිසි ගෞරවය නිසි අභිමානය තියෙන්න ඕනෑ. ක්‍රියාත්මක කරන මොහොතේ ඉඳලම හැඟීමෙන් කණ්ඩායමක් හැටියට අපි ඒකට එකතු වෙන්න ඕනෑ. හුඟක් වෙලාවට අපේ රටේ මුල් බැහැගත් අදහසක් තියෙනවා, රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කියන එක. පෞද්ගලික අංශය කාර්යක්ෂමයි. ලාභදායී. ඇත්තම දේ තමයි රාජ්‍ය අංශයට තියෙනවා පෞද්ගලික අංශයට නැති බොහෝ අවස්ථා. බොහෝ වරප්‍රසාද. පෞද්ගලික අංශයට නීතිමය බලය අඩුයි. පාර්ලිමේන්තු වරප්‍රසාද අඩුයි. කැබිනට් මණ්ඩල වරප්‍රසාද අඩුයි. අධිකරණමය සහයෝගය අඩුයි. පෞද්ගලික අංශයේ ඒ හැම දෙයක්ම තමන්ම අවදානම් දරා ගනිමින් මුදල් වියදම් කරලා උපයාගත යුතු දේවල්. ඵලදායිතාව පළමුවැනි දේ තමයි ආකල්පමය වශයෙන් ඇති කරගන්නා ඵලදායිතා ප්‍රතිලාභය. මේ වැඩසටහනේ නිර්ණායක සකස් කරද්දී අමාත්‍යාංශය හැටියටත් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය හැටියටත් මේක පටන් ගන්න ඕන පාසලෙන් කියලා තීරණය කළා.
ආසියානු ඵලදායිතා සංවිධානයේ මහලේකම් ආචාර්ය Indra Pradhana Singawinta මහතා මෙහි ප්‍රධන දේශනය පැවැත්වූ අතර මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් හපුතන්ත්‍රී, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, මහා සංඝරත්නය, කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ආයතන සභාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.
නෙරංජලා වික්‍රමසිංහ