කැනඩාවේ මහමැතිවරණයෙන් අඛණ්ඩව සිවුවැනි වරටත් ලිබරල් පක්ෂය ජය ගනී

කැනඩාවේ මහමැතිවරණයෙන් අගමැති මාර්ක් කර්නිගේ ලිබරල් පක්ෂය අඛණ්ඩව සිව්වැනි වරටත් ජයග්‍රහණය අත්කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිලියන 29ක ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කළ මෙවර මැතිවරණයේදී ලිබරල් පක්ෂයේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන කන්සර්වේටිව් පක්ෂයේ අගමැති අපේක්ෂක වූ විපක්ෂ නායක පියරේ පොයිලියුරේව්ට ඔහුගේ ආසනය ද අහිමි වූ බව වාර්තා වේ.

එරට පාර්ලිමේන්තුවේ ආසන 343කින් ලිබරල් පක්ෂය ආසන 168ක් ජයගෙන ඇති අතර, රජයක් පිහිටුවීමට ආසන 343කින් 172ක බලය අවශ්‍ය බැවින් එම පක්ෂයට සුළුතර පක්ෂයක සහයෝගය ලබා ගත යුතුව ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. කන්සර්වේටිව් පක්ෂයට ආසන 144ක බලය හිමිවී ඇති අතර, කියුබෙකොයිස් පක්ෂයට ආසන 23ක බලය ද, එන්ඩීපී පක්ෂයට ආසන 7ක බලය ද ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කැනඩාවේ හරිත පක්ෂය එක් ආසනයක් පමණක් ජයගැනීමට සමත්වී ඇතැයි ද වාර්තා වේ.

ලිබරල් පක්ෂය මැතිවරණයෙන් ජයගැනීමත් සමඟ පසුගිය මාසයේ අගමැති ධුරයට පත්වූ මාර්ක් කාර්නිට නැවත එම ධුරය හිමිවී ඇතැයි ද වාර්තා වේ. අමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය ලෙස කැනඩාව නම් කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත්, කැනඩාවට ඉහළ තීරුබදු අය කිරීමට පියවර ගැනීමත් හේතුවෙන් මෙවර මහමැතිවරණය වඩාත් අභියෝගාත්මක වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.